Tuesday, June 28, 2011

නිසදැසක මතකය.....

දවස් 3ක විතර හීනි නිවාඩුවක් හම්බවුන නිසා සිතට දැනුනේ මාර lovely feeling එකක්.හිතට ආපු නිදහසේ කාහල නාදය කොච්චර සුමිහිරිද කියනවානම්, සතියකට කලින් කරන්න හිතාගෙන හිටපු වැඩ කීපයක්ම මගේ මනස ඉදිරියේ ඉතාමත් පැහැදිලි ස්වරූපයෙන් මැවී පෙනුනා.කවදත් වගේ හිතට ආපු 1st feeling එක වුනේ හොඳ ආතල් නින්දක් දාන එක."පැය 24න් පැය 12ක්ම කරන්නේ නිදාගන්න එකනේ...." ඔන්න මගේ ආදරණීය සිතුවිල්ලට අපේ අම්මා දුන්න reply එක. අග්නිසරයක් වගේ එල්ලවුන අම්මාගේ සත්‍යවාදී reply එක ඉදිරියේ මම,මගේ සිතිවිල්ලත් කුදලාගෙන side ගැහුවා. ඊටපස්සේ මම කල්පනා කලා,"යකෝ...2nd semester එක්සෑමුත් ළඟ ළඟම එනවනේද?අන්තිම වෙනකන් හිටියොත් sorry.com තමා" කියලා.එහෙම කල්පනා කරපු මම,පොත් ටික එක්කාසු කරගෙන මේසෙට ගොඩ උනා.ගොඩ උනාට මොකද,පොත් ටික එකතුකර ගත්තම මට ඒ ටික පෙනුනේ පුද්ගලානුරූපීව,හරියට මාව ගිලගන්න බලාගෙන ඉන්න යකෙක් වගේ."විභාගයට සතියකට කලින් පාඩම් කිරීම" කියන න්‍යාය කොහෙද ඉඳන් මට කතා කරනවා වගේ හැඟිච්ච නිසාම,මම මේසෙන් නැගිට්ටේ තව මොනවද ඉතුරුවෙලා තියෙන options කියලා කල්පනා කරගෙන.

Idealessව වටපිට බලපු මට,තවත් idea එකක් ඔළුවට කිඳාබැස්සේ මගේ අතිවිසාල පොත් රාක්කය දැක්කමයි.අන්තිමට පොත් රාක්කය සුද්දකලේ(හරියට) මීට මාස 2කට විතර කලින් වෙච්ච නිසාමදෝ,ආපහු ඒක මකුළුවන්ට කදිම ජනාවාසයක් බවට ඉතාමත් වේගයෙන් පරිවර්තනය වේගෙන එන බව මගේ විනිවිද දකින සුලු ඇස් දෙකට පෙනී ගියා.හිතට ආපු kick එක ආශිර්වාදයක් කරගෙන හා හා පුරා කියලා පටන් ගත්තා පොත් රාක්කෙ අස්කරන්න.දූවිලිවලට හරි සංවේදී වෙච්ච නහයක් උරුම මම,හෙම්බිරිස්සාවේ අනිසි දුක උරුම කරගන්න කැමති වුනේ නැති නිසා,ලේන්සුවකින් නහය වහගෙන වැඩේ continue කරගෙන ගියා.වැඩේ continue කරගෙන යනකොට මට අහු උනේ හරි අපූරු පොතක්.ඒ තමා අපේ Science Day එකේ Souvenir එක. Souvenir එක දැක්කම මගේ මතකය,අවුරුදු 2ක අතීතයට  පටස් ගාලා log උනේ high speed internet connection එකක් පාවච්චි කරනවා වගේ.Science Day එක organize කරපු හැටි,laptop හොයාගන්න බැරිව ගෙවල්වල තිබ්බ desktop pc ටික උස්සගෙන ගිහින් එක තැනක සෙට් වෙලා වැඩ  කරපු හැටි,සල්ලි හොයාගන්න organizersලා හොයාගන්න චාටර් කාපු හැටි,එකී නොකී හැම දේම මතක් වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ.ඒ මතකෙත් එක්ක souvenir එකේ පිටු කීපයක් පෙරලනකොට මම නැවතුනේ souvenir එකේ අන්තිම හරියෙ තිබුන නිසදැසක් ළඟ.ඒක ලියුවෙ මමයි,මගෙ අතිජාත මිත්‍රයා වන දිලිනයි.

Science Day එකේ souvenir එක හදන්න බාරවුනේ මටයි,දිලිනටයි.වැඩේ එක පයින්ම බාරගත්ත අපි දෙන්නා,නිවාඩු දවසක සෙට් උනා දිලින ලොක්කගෙ ගෙදර.හෝමගමින් හොඳ කොත්තුවක් කාපු අපි දෙන්නා,කාපු කොත්තුව බඩට බහින්නත් එක්ක 5km ක් එක හුස්මට දුවගෙන අවා,කෙළින්ම ඇවිත් නතර වුනේ දිලින ලොක්කගෙ ගෙදර.ඊට පස්සේ souvenir එක හදන්න හිතින් හොඳ master plan එකක් ගහපු අපි දෙන්නා,හිතපු ප්ලෑන sketch කළා.මධ්‍යම රාත්‍රිය වෙනකන්,හොඳ සින්දු ටිකක් කනට වැටෙන්න රේඩියෝ එකේ මීටරේට දස වද දිදී චැනල් මාරු කර කර  ,අපි දෙන්නා souvenir එක sketch කර කර හිටියා.මෙහෙම ඉන්නකොට තමා දිලිනයා කියුවේ,"මචං,සමරුව ලස්සන වෙන්න අපිත් වැඩ කෑල්ලක් දාමු.උඔ හොඳ නිසදැසක් ලියපන්..." කියලා.මටත් ඉතින් හරි පල්ලම,මම කියුවා "මම ලියන්නම්...උඔ ඇඳපන් ඒකට එල චිත්‍රයක්...".ළඟ පාත තිබුණු කොලයක් අරගත්ත මම හිතේ තිබුණ feelings ඔක්කොම එකට එකතු කරලා ලියුවා නිසදැසක්.නිසදැස ලියලා ඉවරවෙනකොටම වගේ මගේ අතිජාත මිත්‍රයත් මම ලියපු නිසදැසට හරියන්න නියම කංචුකයක් ගහලා තිබුනා.අපි දෙන්නා එකතුවෙලා නිසදැසට දැම්ම මාතෘකාව වුනේ "දයාබර යෞවනය" . මෙන්න අපේ නිසදැස....


මේ නිසදැස දැක්කම ජීවිතේ කොච්චර රැඩිකල්ද කියලා මට හිතුණා.A/L කාලෙදී අපි දෙන්නට තිබුණෙ දහසක් බලාපොරොත්තු.  A/L කාලේ හැම කොල්ලෙක්ම දකින normal හීන තමයි අපි දැක්කෙත්. දිලින ලොක්කා කළේ Maths.මෑන්ස් හිතාගෙන හිටියෙ ඉංජිනේරුවෙක් හරි Air Force Pilot කෙනෙක් හරි වෙන්න.මම කළේ Bio.මගේ හිතේ තිබුණ අහිංසක බලාපොරොත්තුව වුනේ දොස්තර කෙනෙක් වෙන්න.ඒත් results ආවට පස්සේ ඒ හීන එහෙම්මම කෑලි කෑලිවලට අපි ඉස්සරහම බිඳිලා ගියා.කොටින්ම කියනවානම්,අපි දෙන්නා ජීවිතේ කවදාවත් නොහිතපු පැති 2කට තල්ලු වෙලා ගියේ  නොදැනුවත්වම කියුවොත් මගේ අතිජාත මිත්‍රයා මගෙත් එක්ක එකඟ වෙනවා ඇති.අද දිලින ලොක්කා Mora යුනියෙ Architecture Department එකේ එල වැඩකරුවෙක්.මගේ ජීවන එන්ජිම දුවන්නේ කොම්පියුටර් ලොජික්ස්,කොම්පියුටර් ලැන්වේජස් එක්ක තමා.කවුද හිතුවෙ අපි මේවා කරයි කියලා.ජීවිතේ හිතපු දේවල්, කරන්න හිතාගෙන හිටපු දේවල් කොච්චර  වෙනස් වුනත්,අපි දෙන්නගෙ එදා ඉඳන් තිබුණ යාලුකම වෙනස් වෙලා නෑ අංශු මාත්‍රයකින්වත්.ඒ ගැන අපි ඉතාමත් නිහතමානීව ආඩම්බර වෙනවා.

මේ ඔක්කොම මතකයන් අතරේ හිරවෙලා හිටපු මට,යාන්තමට වගේ අම්මගෙ කටහඬ ඇහුනා.souvenir එක පැත්තකින් තියලා,කර කර හිටපු වැඩේටත් එහෙමම තිත තියලා,මතකෙට හදිසියෙන් වගේ ආපු සුන්දර මතක ටික එකට පොදි කරගෙන අම්මා ඉන්න දිහාට හිමින් හිමින් ඇදුනා.ඇත්තටම ජීවිතේ කොච්චර රැඩිකල්ද කියලා මට ආයිත් කල්පනා උනා......

Thursday, June 16, 2011

Proජෙක්ට්......

මා ප්‍රිය Blog පාඨක අයියේ,අක්කේ,නංගියේ,මල්ලියේ,යාළුවේ,යෙහෙළියේ........අසරණ වූ ගැත්තාට සමාවනු මැනවි.අති සුවිසල් වූ කාල පරාසයකට පස්සේ (හරියටම මාසයක්) ඔබ සැම හමුවීමට ලැබීම ගැන මා සිටින්නේ ඉමහත් වූ ප්‍රීතියකින්.ගෙවීගිය සති 3ක පමණ කාලය මා හට ඉතාමත් කර්කශ වූ period එකක් බැව් ඔබට පවසන්නේ කිසිදු බියකින් තොරවයි.Diploma එකේ අවසන් project එක නිම කිරීමට සති එකහමාරක් අත්ථිකිලමතානු යෝගය පිරූ මට, අවසානයේ සිදුවූයේ තවත් සති එකහමාරක් බෙහෙත් පෙති 8ක් ගිලමින් ගෙදරට වී  "පෙතිගිලානයෝගය" පිරීමටයි. ජීවිතයේ පළමුවතාවට ක්ලාන්තය අත්විදීමට අවස්ථාව උදාකරගත්තද, බොහෝම අමාරුවෙන් බිම නොවැටී දෙපයින් සිටගෙන සිටීමට මා පින්කර තිබුණි,නැත්නම් නංගිලාගෙන් අනිවාර්යයෙන් අතිමහත් චාටරයක් කෑමට ඉඩ තිබුණි.දොස්තර මහතාගේ නිගමනයට අනුව මගේ pressure එකද බැස තිබුණි.මගේ අතිජාත මිතුරා වන දිලින ජනදිත් පවසන ආකාරයට ඔහුට pressure බැස්සවිට කවි ලියන්නට හැකිලු. 'උට බැරිනම් මට බැරි මොකද' කියා මමත් try පාරක් දුන්නෙමි.නමුත් කවි ලියන්නට මනස සකස්කරගැනීමට නොහැකිවූ තැන වැඩේ අතහැර,  Pressure බැස්සවිට කවි ලිවීමේ Technique එක ප්‍රගුණ කරන ආකාරය දිලින ලොක්කාගෙන් අසාදැනගැනීම සඳහා පිඹුරුපත් සකස්කළෙමි.

අද Blog එකේ මාතෘකාවට තෝරාගන්නට සිතුවේ අපේ ඩිප්ලොමා ප්‍රොජෙක්ට් එක පිළිබඳවය.'ඇයි ඒ?' කියා කවරෙකුහෝ විමසනවානම්,මා එයට දෙන පිළිතුර  'මගේ හද්ද කම්මැලි ජීවිතය කියන ගොලුබෙලි කට්ටෙන් මාව එළියට ඇදලා දැම්මේ  Project එක' කියායි.මා පමණක් නොව,  ලසන්ත(ලැසී), අදීශ(අදියා), බනුර(බනූ) කියන්නාවූ ඉතිරි සාමාජික සාහෝදර තුන්කට්ටුවද Tune up කර ගත්තේ, අද දවසේ උද්දෘතය මගිනි.

 Project  එකේ මාතෘකාව වූයේ System Design ය. නමගිය ආයතනයක් අල්ලාගෙන එහි තිබෙන System එකට වඩා හොඳ System එකක් නිර්මාණය කිරීමට අපට සිදුවිය.System එක implement කරන්නට (Program කරන්නට) දුන්නේ නැත, අපට කරන්නට දී තිබුණේ Design එක පමණි.අප තොරාගත්තේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තුමේන්තුවේ මානව සම්පත් කලමනාකරණ අංශයයි.පරණ පිනකට අදීශට සහ මට ඩිප්ලෝමා එකේ Distinction ලැබී තිබුණි.Distinction එක ගොඩගැනීමටනම් project එක මැයි 31ට ප්‍රථමයෙන් බාරදීය යුතුය,නැත්නම් Distinction එක කප්පාදු කර දමයි.එයට මූලික හේතුව නම් Distinction එකට  ලබාදෙන රු:10000 යටිමඩි ගැසීමය.Distinction නැතිවුනත් ලැසියා සහ බනුවා අපේ Distinction බේරාදීම සඳහා සටනට අවතීර්ණ වූහ. ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවට මහ ඇණයක් වූ අපි, එහි වූ දූවිලි පිරුණු file අවුස්සමින්, වැඩ කරන පිරිසගෙන් නොයකුත් ප්‍රශ්න අසමින්, කිසිම වැදගැම්මකට නැති ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවේ HRM System එක උඩුයටිකුරු කරමින් project වැඩ දිගටම ඇදගෙන ගියෙමු.

කවදත් අපට කොකා පෙන්වන පරිපාලනය,මෙවර අපට කොකා පෙන්නුවේ මැයි 31වෙනිදාට යොදා තිබුණු දවස 27වෙනිදාට දැමීමෙන්ය. ඉතිරිව තිබුණේ දවස් 5කි. ඉවරකරන්නට තව වැඩ සෑහෙන තිබුණි.ඔක්කොම වෙන්නේ හොඳටයි කියමින් ඉතිරි දවස් 5ම නිදි මැරීමට අපි තීරණය කලෙමු.ඒ සඳහා තෝරාගත්තේ බනුවාගේ ගෙදරය.කඩවතට එහා ඉතාමත් නිසංසල පරිසරයක ඇති බනුවාගේ ගෙදර සිට නිදිමරාගෙන, ඉතිරි වැඩ ටික ඉවරයක් කර දැමුවෙමු.පොඩි අවුලකට තිබුනේ බනුවාගේ ගෙදර Earth Line එකය. එක වේලාවකට පිස්සු නටන බනුවලාගේ  Earth Line එක නිසා,මම අම්බානක current වද්දාගත්තෙමි. ඊළඟ වතාවේ එනවිට එය විසඳා තබන බවට බනුවා පොරොන්දු විය.

කෙසේ හෝ වේවා 27වෙනිදාට යෙදී තිබුණු  VIVA, 30වැනිදා දක්වා කල් ගියේය. අමතර දවස් 3ක් ලබාදුන් පරිපාලනයට නොව දෙවියන්ට පින්දුන් අප, මෙවර රිංගුවේ ලැසියලාගේ ගෙදරටය.project එකේ තිබුණු වැරදි නිවැරදි කර සම්පූර්ණ කරගැනීමට අපට ඒ දවස් 3 ප්‍රමාණවත් විය.31 වැනිදා 10.45ට පමණ යෙදුනු සුබ මොහොතින්,දවස් ගණනක් ඉමහත් කට්ටක් කාගෙන designකල System project එක,submit කර VIVA දෙන ලදී. Project කිහිපයක්ම reject වෙද්දී, අපේ project එක accept වුනේ නැවතී තිබූ අපේ හදවත් නැවත පණ ගන්වමිනි.

Proජෙක්ට් කතන්දරය එසේ නිමාවට පත්විය.කතන්දරය මෙසේ නිමාව දකිද්දී, අපේ වෑයම සාර්ථක කරගැනීමට අපට සහයදුන් අය අමතක නොකිරීමට මම තීරණය කලෙමි.වටිනාම ස්තූතිය පිදිය යුත්තේ අපගේ දෙමව්පියන්ටයි.ඔවුන්ගේ ආශිර්වාදය හා අනුබලය අපට නිසි අයුරින් නොලැබුනානම් මේ තරම් සාර්ථකවූ project එකක් කරගැනීමට අපට නොහැකිවන්නට තිබුණි.අපට නවාතැන් දී, කවදත් පිරවීමට නොහැකි අපේ කුසවල් රසබර ආහාරයන්ගෙන් පිරවූ බනුවාගේ සහ ලැසියාගේ දෙමව්පියන්ට විශේෂ ස්තූතිය මෙහිදී පුද කර සිටිමි.කවදත් අප සමග සිටින මිතුරු මිතුරියන්වද මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරමි.ඔවුන්ගෙන් අපට ලැබුනු සහය අතිමහත්ය.නියමිත දිනයට පයින් ගසා,හිතුමනාපය පරිදි දින යොදමින්,project එක තවත් සාර්ථකව නිම කරන්නට අපට පෝෂණය සැපයූ පරිපාලනයද මෙහිදී මතක් කිරීම වටී.

උදව් දුන්,නොදුන් සියලූම දෙනාට නැවත වතාවක් ස්තූතිය පිරිනමින් අදට Hiyal ද මෑන්ගේ අනංමනං Blog එකෙන් සමුගන්නම්.අවසර...............





(ඡායාරූප සහය : උදුල් කංචන ජයසිංහ)