Saturday, November 3, 2012

සන්තර්පණය සහ නියුරෝසියාව

ඇය 


එම මූසල පශ්චිම යාමයේදී මට ඇයව ප්‍රථමයෙන්ම දර්ශනය විය. කල්ගත වූ නියතියන්, කර්ම ශක්තීන් ඇයගේ සියුමැලි සිරුරට අබරණ විය. දුර්වල සිරුරේ භංගුර භාවය මැනවින් විද්‍යාමාන වුවද, ඇය ගමන් කරන මාර්ගය අවශේශික ජන සංයුතියට පෙන්වීමට ඇයට  දැඩි වුවමනාවක් තිබූ බව පෙනෙන්නට විය. එය ඒ තරමට කුටිල වූ, දූර මාර්ගික වක්‍රයක් විය. අගේ නළල් කෙළවර මගේ පපුවේ ඒක කේන්ද්‍රික වෙද්දී, ඇයගේ සීතල අත්ලේ උණුසුම, මගේ අවසාන නහර කුටීරය දක්වා ගමන් කරන ස්පන්දනයේ හඬ, මම රහසේ මෙනෙහි කලෙමි.  එම මූසල පශ්චිම යාමය..මාගේ හදවත නම් වූ නිවෙස්නයට ඇය ඇතුළු වූ අංශු මාත්‍රික මොහොත...සඳහටම......

පළමු අනුඛණ්ඩය 

රූපය යනු ශුන්‍යය ය. 
ශුන්‍යය යනු රූපය ය. 
රළ යනු ජලයයි. 
ජලය යනු රළයි...
 රූපය ශුන්‍යත්වයෙන් වියුක්ත නොවීමම, ශුන්‍යත්වයෙන් රූපය වියුක්ත නොවීමට සර්ව සම්බන්ධ කල හැකි වේ. එම ධර්මතාවම වේදනා, සඥා, සංස්කාර, විඥාන යන ප්‍රපන්චවලටද එකසේ වලංගු වේ. මක්නිසාද යත්, මූලධර්ම තව එකක තුල අනෙක පවතින්නේය. එකක් පවතී. සියල්ල පවතී. 

මම 

ඇය මගේ ජීවයයි....මා හුස්ම ගන්නා ජීව වායුවේ සාරය උරා ගන්නේ ඇයද යන වග පවා මට නොපැහැදිලිය. සංවේගාත්මක වශීකෘත පරිච්චේදයක ආරම්භයම ඇය වී අවසානයද ඇයම වන්නීය. සුපුෂ්පික සන්තර්පණයට නතු කරගන්නා ඇය මට පවසන්නේ අනිත්‍යතාවයෙන් තොරව කිසිවක් සිදුනොවන බවයි. අනිත්‍යතාවයට මා බිය නැත. අනිතයතාවයේ ආශ්වාසය සපිරිවරා ගත් ඇය මා ළඟ සිටිද්දී කුමකටද බියවන්නේ අනිත්‍යයට????

දෙවන අනුඛණ්ඩය 

මෙය පවතී නම් දුහුවිලි කැටයක්ද පවතී.
 මෙය නො පවතී නම් මුළු විශ්වයම නො පවතී. 
ද්‍රව්‍යය සහ ශක්තිය එකක වනවා පමණක් නොව,  ද්‍රව්‍යය සහ අවකාශයද එකක්ම වේ. තවදුරටත් ද්‍රව්‍යය, ශක්තිය, ජීවය  සහ අවකාශය ද එකක්ම වේ. මක්නිසාද යත් එහි ජීවය විද්‍යාමාන ය.....

අභිවාදනය

නියුරෝසියාව මා වෙලාගෙන ඇත. එම මූසල පශ්චිම යාමයේදී ඇය මට මුණගැසුනේ කෙසේද යන වග කල්පනා කරන්නට ජීවයක් මට නැත. මාගේ අවධානය බිඳ දමන්නට තරම් පරිණත බවක් ඇය ලබා ගත්තේ කෙසේද යන වග කල්පනා කරන්නටවත් ශක්තියක්  මට නැත. අවකාශයද හීන වී ගොසිනි. එෆීඩියානු පුලකයන්, මගේ සිරුර විද ජීවය උරා බොන සෙයක් මට හැඟේ. මා හඳුනා ගන්නට කා හට හැකිවේද යන වග ප්‍රශ්නාර්ථයක් බවට පත් වීගෙන එයි...තව තත්පර කිහිපයයි....අභිවාදනයට සියල්ල සුදානම්....

තෙවන අනුඛණ්ඩය 

ශුන්‍යත්වය යනු අනිත්‍යයි. 
වෙනස් වන ස්වභාවයයි. 
මා ශුන්‍ය නොවුණිනම් මම මෙහි පැවැත්විය නොහැක්කේ වෙමි. 
ඔබ ශුන්‍ය නොවුණිනම් ඔබට මෙහි පැවැත්මක් නොමැත්තේය.
 ඔබ ජීවත් වන හෙයින් මම ජීවත් වෙමි...
 ශුන්‍යතාව යන්නෙහි සැබෑ අරුත වනාහී රූපයට වියුක්ත වූ පැවැත්මක් නොමැති බව යන වගයි....

සන්තර්පණය

මම වහලෙක්මි...මම වහලෙක් වන්නේ මගේ ජීවන රාමුව තුලයි...එයට කිසිම හික්මීමක් නැත්තේය...අවහිරයක් නැත්තේය.....ප්‍රතිබාදනයක් නැත්තේය...මම මගේ ජීවන වෘතීමය බල කිරීම් අනුග්‍රාහික කර ගනිමි....ඇය මගේ ජීවන රාමුව තුල ගර්හාවට ලක්වී අවසානයි...

ඇය සත්‍යයක් නොවේ
ඇයව තාත්වික මුර්තයක් බවට පත් කරන්නට මට නොහැක්කේය...

අවසානය 

අනිත්‍යය යන ධර්මතාවය ගැන දුක් විය යුතු නොවන්නේය...
අනිත්‍යතාවයෙන් තොරව කිසිවක් සිදු නොවන්නේය..
කිමද ශුන්‍යත්වය සියල්ලෙහි පදනම වේ....