Tuesday, July 12, 2011

රෝමියෝ.....

"මචං,මම ඒ කෙල්ලට ආදරේ කළේ හරියට අයියා කෙනෙක් වගේ.ඒකට ලොකුම හේතුව උනේ ඒකි මට වඩා අවුරුදු 4කට බාල වෙච්ච නිසා.මාස 6ක් අපි හොඳට ලව් කර කර හිටියා බන්..."

රෝමියෝ, මා ඉදිරියේ තමන්ගේ ප්‍රේම ව්‍රෘතාන්තය දිග හැරීමට පටන් ගත්තේය.මා හට එය පවසන්නට හේතු වූ කාරණය මට හරියටම මතක නැත.ඒ කාරණාව කුමක් වුවත්,පැහැපත් පෙනුමක් සහිත,කෙට්ටු සිරුරකින් හෙබි රෝමියෝගේ අතීතාවර්ජනය අසා සිටින්නට මා පෙලඹවූයේ,කතන්දර ඇසීමට කුඩාකල සිටම උරුම වූ මාගේ අසීමාන්තික ඇබ්බැහිවීම බව මම දනිමි.

කොලඹින් ගව් ගණනක් ඈත,ඉතාමත් සුන්දර නගරයක ජීවත්වන අපේ රෝමියෝට,තමන්ගේ හද පත්ලේ සැඟවී තිබූ යෞවනාලය උද්දීපනය කරන්නට සමත්වූ  ජූලියට්ව මුණ ගැසුනේ තමන්ගේ මිත්‍රයෙකුගේ අනුදැනීමකිනි.ඒ සොඳුරු හමුවීම සිදුවූ දා පටන්,රෝමියෝ-ජුලියට් ආදර අන්දරය ලියලා,දළුලා වැඩුණේ,මොහොතින් මොහොත වෙන්ව යන සෑම තත්පරයකදීම ඔවුන් දෙදනාට පරම පිවිතුරු ආදරයෙන් වෙළෙන්නට ඉඩ දෙමිනි.රෝමියෝ උසස් අධ්‍යාපනය හැදෑරුවේ අගනුවර සුප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයකය.අධ්‍යාපනය ගැන තබා තිබූ සියළු ප්‍රාර්ථනා,ප්‍රථම ප්‍රේමය හමුවේ වියැකී බොඳවී යද්දී,නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව චණ්ඩ හිරු රැස්වලට ආවරණයක් කරගනිමින්,රුපියල් 3කට මිලට ගත් Center Freshය හකු පාඩා අතර උඩ පහළ යවමින්,ජූලියට් පන්ති ඇරී එනතෙක් පැය ගණන් මග බලාසිටියේ සදාදරණීය පෙම්වතෙකු ලෙසිනි.

"උඹ දන්නවනෙ බං,මම මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයිනෙ. ඒ වුනාට මම ගෙදරින් මාර ගේමක් දීලා රුපියල් 500ක් හොයාගන්නවා කෙල්ල නිසා.පැය ගණන් චාටර් කාගෙන මම බලාගෙන ඉන්නවා එයා එනකන්.කෙල්ල මග එනවා දැක්කම,කාපු චාටර් මොනවද කියලා හිතෙනවා බං.ඒකි දැක්කම හිතට එන කික් එක මාර සීරියස් බන්.."

හිතට නැගුණු "සීරියස් කික්" එක මතක් වුන නිසාදෝ,රෝමියෝ තත්පර කීපයක් අහිංසක ලෙස සිනාසුනේය.සුසුදු වත,සිහින් ශරීරය, මනබඳින ඇස් දෙක, ඇස් දෙකෙන් තමන් වෙත එල්ල කරන අපූරු හිනාව දකින හැම මොහොතකම,තමන් තුළ සැඟව තිබූ ආදරය පිම්බී එන්නාක් මෙන් තමන්ට දැනුනු බව රෝමියෝ මට පවසා සිටියේය

"පන්ති ඇරිලා ආවට පස්සෙ මම එයාව පේස්ට්‍රි ශොප් එකට අරගෙන ගිහිල්ලා කන්න අරන් දෙනවා.ගොඩක් වෙලා අපි කතා කරනවා.ඊට පස්සේ නංගිව ගෙදර ගාවට බස්සවලා තමා මම ගෙදර එන්නේ.මම ගෙදර එන්නෙ අන්ත අසරණ හිඟන්නෙක් වගේ බං.හැමදාම වගේ පර්ස් එකේ තියෙන්නේ රුපියල් 10ක් හරි 20ක් හරි..".

  "පස්සෙ පස්සෙ ඒකි මාව බාල්දු කරන්න පටන් ගත්තා බං.මුලදි තිබ්බ ආදරෙන් බිංදුවක්වත් මට ඒකි පෙන්නුවෙ නෑ.ඒත් මම ඉවසුවා බං,මම හිතුවා මගේ අතින් මොනවහරි අඩුපාඩුවක් වෙන්න ඇති කියලා.ඒත් මම දන්න හැටියට එහෙම දෙයක් වුනේ නෑ.දවසක් මම දාඩිය පෙරාගෙන නංගි එනකන් මගබලාගෙන හිටියා.ඒකි මාව දැකලා මොකක්ද කියුවෙ දන්නවද? 'අපෝ ඔයා ගාව හරි දාඩිය ගඳයිනෙ,හොඳ perfume එකක් ගහගෙන එන්නකො' කියලා."

රෝමියෝ නැවතත් සිනාසුනේය.මුකුත් නොකර නිකන් සිටියේ මන්දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.බොළඳ ආදරය ඉදිරියේ පුරුෂාධිපත්‍යය හීන වී ගිය අයුරු ඔහු මතක් කළේ නැවතත් සිනාසෙමිනි."මට කටට අවා බං හොඳ එකක් කියන්න, ඒත් පොඩි කෙල්ලෙක් නිසා ඉවසගෙන හිටියා.." රෝමියෝ පාපොච‍ඡාරණය කළේය.මාසයක් ගතවූ තැන, ඔවුන්ගේ කුළුඳුල් ආදරය දෙදරා යන ලකුණු පහල වන්නට ගත් බව රෝමියෝ තෙපළේය.ජූලියට් නිතරම වාගේ රෝමියෝගේ විරැකියාව,සමාජ තත්වය,මුදල් ගැන ප්‍රශ්න කරන්නට පටන් ගත්තාය."මම ඇහුවා බං එයාගෙන් 'ඔයා ආදරේ කළේ මටද?මගෙ සල්ලිවලටද?' කියලා.එතකොට එයා කියුවේ 'මොනව කරන්නත් සල්ලි ඕන,රස්සාවක් ඕන. ඔයාට ඒ දෙකම නෑනෙ අයියෙ...' ".

ඉවසාගන්නට නොහැකි තැන,තමන්ගේ කුළුඳුල් ආදරයට තිත තබන්නට රෝමියෝ කල්පනා කළේය.හද පාරගෙන නගින රුදුරු වේදනාවන්,කඳුලු ගංගාවන් ලෙස දෝරේ අරින්නට ඉඩ දී ඔහු ජීවිතයේ අසාර බව මෙනෙහි කරන්නට විය."මගෙ මුළු ජීවිතේ,මගෙ අධ්‍යාපනේ,ඔක්කොම දේවල් විනාස කරගෙන මම ඒකිට ආදරේ කලා බං,ඒ උනාට අන්තිමට ඒක විහිළුවක් උනා.පස්සේ ඒකි හෙනට සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාළු උනා කියලා මට කොල්ලෙක් කියුවා.මිනිස්සුන්ට ශාප කරන හැටි මම ඉගෙන ගෙන නෑනෙ බං,ඉගෙන ගෙන තිබුනනම්...එත් මට ඒකිට සාප කරන්න බැරිවෙයි බං...".

ඔහු තම කථාව එසේ කියාගෙන ගියේය.ප්‍රේම මායා දැලෙහි පැටලී හීනයක් ලෙස ගෙවෙන ජීවිතය නැමැති යථාර්ථයේ,ආදරය නැමැති සංකල්පය එක මොහොතින් බිඳී යන්නේ අළුයම නැගෙන තුෂාරයක් ලෙස බව මම ඔහුට මතක් කර දුන්නෙමි.එවිට රෝමියෝ නැවතත් සිනාසුනේය.ඔහුගේ ප්‍රේම ව්‍රෘතාන්තය තවමත් ඉවර නැතැයි ඔහු කී විට මම පුදුමයට පත්විය.

"මාස 2ක් විතර යන්න ඇති.මම හැමදෙයක්ම අමතක කරල දාලා හිටියෙ මචං.ඒත් එක දවසක් හදිසියේම නංගි කතා කළා.එයා අඬ අඬ මට ලොකු විස්තරයක් කියුව බං.එයාට ඕන උනේ සල්ලි විතරලු.ඇත්ත ආදරේ මොකක්ද කියලා එයාට තේරුනේ නෑලු.මම නැතුව ජීවත් වෙන්න බෑ කියලා ඒකි අඬ අඬ කියුවා."

"නංගිගෙ කටහඬ ඇහුන ගමන් මට මොනවා වුනාද කියලා මම දන්නෙ නෑ බං.කාගෙන,දම්වැල් දාලා හිරකරගෙන හිටපු මගේ පුරුෂ ධෛර්යයට පණ නැති වුනා මචං.ආදරේ ඉස්සරහා මම ආයිමත් බෙලහීනයෙක් වුනා.මම ආපහු නංගිව බාරගත්තා බං... "

මේ පුදුමාකාර පුද්ගලයා දිහා තත්පර ගානක්  මා බලා සිටින්නට ඇත.මොහුගේ ක්‍රියා කලාපය කුමන ප්‍රස්තූතයක් යටතේ වර්ග කරන්නෙම්දැයි මම කල්පනා කළෙමි.රෝමියෝ මගේ සිතැඟි තේරුම් ගන්නට ඇත."උඹ හිතනවා ඇති මම මෝඩ තකතීරුවෙක් කියලා.ඒත් කථාවක් තියෙනවනෙ බං ආදරයේදි හැමෝම අන්ධයි කියලා.මමත් අන්ධ වුනා බං.මම දෙපාරක් අන්ධ වුනා මචං.තුන්වෙනිපාරත් අන්ධ වෙයිද කියලා කවුද දන්නේ? "

"නංගි ආපහු පන්ති යනවා බං.මම වෙනදා වගේම ඔරලෝසු කණුව යටට වෙලා,Center fresh එකක් කකා,මග බලාගෙන ඉන්නවා එයා එනකන්..." අහිංසක සිනාවකින් මුව සරසාගෙන රෝමියෝ කතාව අවසන් කළේය.

මගෙන් සමුගෙන ඉවතට ඇදී යන මේ අපූරු චරිතය ගැන මම නැවතවතාවක් කල්පනා කළෙමි.මම ඔහු මෝඩ තකතීරුවෙක් කියා කිසිවිටෙකත් නොසිතමි.නමුත් ඔහුගේ ක්‍රියාව කෙසේ විස්තර කරන්නදැයි මට තවමත් අංශු මාත්‍රයක අදහසක් නැත.තුෂර බිංඳුවක් ලෙස ආදරය බිඳී ගිය විටදී,බිඳී ගිය තුෂාරය,බිංඳුවෙන් බිංඳුව නැවත එක්කරන්නට හැක්කේ මෙවැනි රෝමියෝ කෙනෙකුට පමණක් බව  මට හැඟී ගියේ නිමේෂයකිනි.



6 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. සිරා ...... රොමියෝ ආත්මාර්ථකාමී ලෙස අව්‍යාජව පෙම් කිරීමේ ඵල විදිනවා........ !!!!! nice post !!!!!

    ReplyDelete
  3. එකෙන්ම ලොක්කා....රෝමියෝ නියම ආදරවන්තයෙක්.....කොමෙන්ට් එක්‍ට තැන්කියු වේවා!!!!

    ReplyDelete
  4. මම හිතන්නෙ මේ වගේ රොමියෝ කෙනෙක් මමත් දන්නවා
    ඌට ආයි නොයා ඉන්න තිබුනෙ...
    ආදරෙ අන්ධයි නෙ...
    නපුරු කලට what to do
    කොහොම උනත් දෙයියන්ගෙම පිහිටයි.....

    ReplyDelete
  5. deparshavayama eka se pem karanavanam a arayata paraja mavathe idak natha dinuma pamanai....

    ReplyDelete
  6. දෙපාර්ශවයම එක සේ පෙම් කලේ නැත්නම්
    සදාකාලික පැරදුම මිස
    ජය මාවතේ කිසි ඉඩක් නොලැබෙනු ඇත....

    ReplyDelete