Wednesday, December 26, 2012

ඔබ...

රෑ සඳ ඇවිත් ගියා 
හීන මැදින් 
රහසේම හිමින් 
ආදරේ බිඳුවක් 
ඇබින්දක් 
ඔබ අරන් ඇවිත් තිබුණා 
මල් මකරන්ද සුවඳ තිබුණා....


Saturday, November 3, 2012

සන්තර්පණය සහ නියුරෝසියාව

ඇය 


එම මූසල පශ්චිම යාමයේදී මට ඇයව ප්‍රථමයෙන්ම දර්ශනය විය. කල්ගත වූ නියතියන්, කර්ම ශක්තීන් ඇයගේ සියුමැලි සිරුරට අබරණ විය. දුර්වල සිරුරේ භංගුර භාවය මැනවින් විද්‍යාමාන වුවද, ඇය ගමන් කරන මාර්ගය අවශේශික ජන සංයුතියට පෙන්වීමට ඇයට  දැඩි වුවමනාවක් තිබූ බව පෙනෙන්නට විය. එය ඒ තරමට කුටිල වූ, දූර මාර්ගික වක්‍රයක් විය. අගේ නළල් කෙළවර මගේ පපුවේ ඒක කේන්ද්‍රික වෙද්දී, ඇයගේ සීතල අත්ලේ උණුසුම, මගේ අවසාන නහර කුටීරය දක්වා ගමන් කරන ස්පන්දනයේ හඬ, මම රහසේ මෙනෙහි කලෙමි.  එම මූසල පශ්චිම යාමය..මාගේ හදවත නම් වූ නිවෙස්නයට ඇය ඇතුළු වූ අංශු මාත්‍රික මොහොත...සඳහටම......

පළමු අනුඛණ්ඩය 

රූපය යනු ශුන්‍යය ය. 
ශුන්‍යය යනු රූපය ය. 
රළ යනු ජලයයි. 
ජලය යනු රළයි...
 රූපය ශුන්‍යත්වයෙන් වියුක්ත නොවීමම, ශුන්‍යත්වයෙන් රූපය වියුක්ත නොවීමට සර්ව සම්බන්ධ කල හැකි වේ. එම ධර්මතාවම වේදනා, සඥා, සංස්කාර, විඥාන යන ප්‍රපන්චවලටද එකසේ වලංගු වේ. මක්නිසාද යත්, මූලධර්ම තව එකක තුල අනෙක පවතින්නේය. එකක් පවතී. සියල්ල පවතී. 

මම 

ඇය මගේ ජීවයයි....මා හුස්ම ගන්නා ජීව වායුවේ සාරය උරා ගන්නේ ඇයද යන වග පවා මට නොපැහැදිලිය. සංවේගාත්මක වශීකෘත පරිච්චේදයක ආරම්භයම ඇය වී අවසානයද ඇයම වන්නීය. සුපුෂ්පික සන්තර්පණයට නතු කරගන්නා ඇය මට පවසන්නේ අනිත්‍යතාවයෙන් තොරව කිසිවක් සිදුනොවන බවයි. අනිත්‍යතාවයට මා බිය නැත. අනිතයතාවයේ ආශ්වාසය සපිරිවරා ගත් ඇය මා ළඟ සිටිද්දී කුමකටද බියවන්නේ අනිත්‍යයට????

දෙවන අනුඛණ්ඩය 

මෙය පවතී නම් දුහුවිලි කැටයක්ද පවතී.
 මෙය නො පවතී නම් මුළු විශ්වයම නො පවතී. 
ද්‍රව්‍යය සහ ශක්තිය එකක වනවා පමණක් නොව,  ද්‍රව්‍යය සහ අවකාශයද එකක්ම වේ. තවදුරටත් ද්‍රව්‍යය, ශක්තිය, ජීවය  සහ අවකාශය ද එකක්ම වේ. මක්නිසාද යත් එහි ජීවය විද්‍යාමාන ය.....

අභිවාදනය

නියුරෝසියාව මා වෙලාගෙන ඇත. එම මූසල පශ්චිම යාමයේදී ඇය මට මුණගැසුනේ කෙසේද යන වග කල්පනා කරන්නට ජීවයක් මට නැත. මාගේ අවධානය බිඳ දමන්නට තරම් පරිණත බවක් ඇය ලබා ගත්තේ කෙසේද යන වග කල්පනා කරන්නටවත් ශක්තියක්  මට නැත. අවකාශයද හීන වී ගොසිනි. එෆීඩියානු පුලකයන්, මගේ සිරුර විද ජීවය උරා බොන සෙයක් මට හැඟේ. මා හඳුනා ගන්නට කා හට හැකිවේද යන වග ප්‍රශ්නාර්ථයක් බවට පත් වීගෙන එයි...තව තත්පර කිහිපයයි....අභිවාදනයට සියල්ල සුදානම්....

තෙවන අනුඛණ්ඩය 

ශුන්‍යත්වය යනු අනිත්‍යයි. 
වෙනස් වන ස්වභාවයයි. 
මා ශුන්‍ය නොවුණිනම් මම මෙහි පැවැත්විය නොහැක්කේ වෙමි. 
ඔබ ශුන්‍ය නොවුණිනම් ඔබට මෙහි පැවැත්මක් නොමැත්තේය.
 ඔබ ජීවත් වන හෙයින් මම ජීවත් වෙමි...
 ශුන්‍යතාව යන්නෙහි සැබෑ අරුත වනාහී රූපයට වියුක්ත වූ පැවැත්මක් නොමැති බව යන වගයි....

සන්තර්පණය

මම වහලෙක්මි...මම වහලෙක් වන්නේ මගේ ජීවන රාමුව තුලයි...එයට කිසිම හික්මීමක් නැත්තේය...අවහිරයක් නැත්තේය.....ප්‍රතිබාදනයක් නැත්තේය...මම මගේ ජීවන වෘතීමය බල කිරීම් අනුග්‍රාහික කර ගනිමි....ඇය මගේ ජීවන රාමුව තුල ගර්හාවට ලක්වී අවසානයි...

ඇය සත්‍යයක් නොවේ
ඇයව තාත්වික මුර්තයක් බවට පත් කරන්නට මට නොහැක්කේය...

අවසානය 

අනිත්‍යය යන ධර්මතාවය ගැන දුක් විය යුතු නොවන්නේය...
අනිත්‍යතාවයෙන් තොරව කිසිවක් සිදු නොවන්නේය..
කිමද ශුන්‍යත්වය සියල්ලෙහි පදනම වේ.... 




Sunday, October 28, 2012

අසම්මත පෙමකට අප්පච්චිගෙන්....

පිච්ච මල් රටා හිස ලන
පිච්ච මල් රටා පළදින 
ඇය ඇවිත් උඹේ සෙවනැල්ලේ 
සෙවන ලබන විට 
ඒ උණුහුමේ
ජාති ජන්ම 
ලියා තියෙනවද?????

මගේ පුතේ නුඹට 
මම කොහොමට දොසක් කියන්නද?
නුඹ නුඹේ ලොවේ 
කිරුළු පැලැන්දට
වෙන බසක් දෙඩුවට
රතු තිලක තියු වත 
මම අමනාප වුනත්
ඇගෙ තරමට ආදරයක්
කොහෙන් ලබන්නද???

(උපුටා ගත්තකි )



Friday, September 28, 2012

නිදහස

මම
රස බලා ඇති
ජීවිතය
උත්තම ගණයේ
එකක්...
ඇරත්
නිදහස් කියන්නේ
මොකක්ද???
හිතලුවක්
දුම් රොදක්
මිරිඟුවක්
ප්‍රබන්ධයක්
කාලකන්ණි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ   
උණ සන්නිපාත
හීනයක්.......


Tuesday, August 28, 2012

කඳුළු බිඳු

නිමක් නැතිවූ
නමක් නැතිවූ
ඇගේ
කඳුළු බිඳු

දාරක පෙමින්
ඔද වැඩී ගිය
පිය විප්පයෝගයෙන්
විපරිත වී ගිය
ඇගේ 
කඳුළු බිඳු

තවත් 
ඇසකට
එක්කහු වන්නට
ඉඩකඩ නොලද
නියාවෙන්
වෙන්දේසියක
විකිණී ගිය 
ඇගේ
කඳුළු බිඳු......


ඈවරයි!!!!!!!!









Saturday, July 21, 2012

'ස'



සිහිල් සුළං රැළි දිගේ
දිව මතුරක්ව
සිහින සතක් මධ්‍යයේ
ප්‍රේම ගීයක්ව
නාගස් දළු ලවා
වසන්තය එළඹ කර
හිත මිතුරු සුළඟට අත වනා
වැහි වලාවෙන් වැසී ගිය
තනි තරුව.....
නුඹ ඔහොම 
ඔතැන
නැවතුණු නිසාවෙන්
මමත් 
මෙතන
මෙහෙම
නැවතුණෙමි..............


ප.ලි:
 නමුදු
හෙට දිනයේ
නැවතත් ඔබ නිසාවෙන්
මම
හිනැහෙමි........




ඡායාරූපය : තරිඳු ධනුශ්ක

Saturday, June 23, 2012

දැවෙන ප්‍රශ්ණය

නෙත් අඳ
පෘථග්ජන
පුද්ගල ප්‍රජාව
යාවත්කාලීන මනසින්
විචාරන වගනම්
තෘප්තිමත් ඌරන් රැලක්
වනවාද?
අතෘප්තිමත් සොක්‍රටීස්ලා බවට
පත්වනවාද?


තර සිරුරු
සංතර්පනය කරන
තෘප්තිමත් ඌරන්
ප්‍රහීන වූ
සමාජ සංතුලිතයක
අතෘප්තිමත් සොක්‍රටීස්ලා
ඕනෑකර තිබේ!!!!!! 



Monday, June 11, 2012

චංචලා සහ නිදිකුම්බා නැටි

පාන්දර 4.30ට වැඩට ගිහින් ගෙදරට ගොඩ බැස්සේ දැනුයි...ෂෙහ්...මහන්සියි..නිදිමතයි...පට්ටෙටම.....
නිදිමත වැඩිවුනත් නිදා ගන්න කෝ පිනක්??? වැඩ වැඩ වැඩ.....
ලෝකය කැරකේ.....අපි දුවනවා ලෝකේ වටේ එක හැල්මේ....
මාර මහන්සියි....
දැන් මාස ගාණක් පාන්දර රස්සාව කරන නිසා නිදිමත ඉවසන්න දැන් පුරුදු වෙලා..
ඩාවින්ගේ අනුවර්තනය වීමේ න්‍යාය...
ඩාවින් බීගල් නැවේ නැගලා ලෝකේ වටේ රවුම් ගහලා පරිණාමය හොයාගත්තා..
අපි ලෝකේ වටේ දුවනවා දුවනවා
ඉවරයක් නෑ
ඒත් මොනවද අපි හොයාගත්තේ????
අපේ සෙට් එකේ පොරවල් කියනවා වගේ
සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්....
කා බී සැනසෙන අපිට
තව කොච්චර බිව්වත්,බීලා වැමෑරුවත්
මේකට උත්තරයක් හොයගන්න
පුලුවන් වෙයිද???
බලමු...ට්‍රයි එකක් දෙමු ගට අරගෙන
හැබැයි පස්සෙ වෙලාවක.....


උදේ පාන්දර මම කරන රස්සාව දන්නෝ දනිති
රූප පෙට්ටියේ
අඟල් 15 සිට 42 දක්වා වූ බැමි දාපු සීමාවක
විනාඩි කට්ට 45පාරක් රවුම ගහනකන්
පත්තර කියවීම.... 
කාගෙත් කතාවට භාජනය වෙච්චි
කිරිකැට් මැච් පෙන්නන
නමගිය ලොකු අතුවලින් පරිපූර්ණ වෙච්චි
අකුරු තුනේ නාලිකාවක
පොඩි පහේ නිවේදක ජොබ් කට්ටක්
කරනවා මම අහිංසක විදියට....
ක්‍රීඩා පිටුවට විතරක් මුල් තැන දුන්නත්
පත්තරේ අනිත් කෑලි ටික දිහා බලන්නත්
අමතක කරන්නේ නෑ...
අද උදෙත් ගත්තා පත්තරයක් අතට
ලංකාවේ නමගිය පත්තරේක අද ඉඳන් පටන් ගන්න හොඳ ටැබ්ලොයිඩ් කෑල්ලකට
ඇහැ ගියා ඉබේටම...
ලාංකීය තරුණ පරපුරේ කට් වෙච්ච,ජොල් වෙච්ච ඇඟවල්වලට හොඳ ඔළුවක් දෙන්න
සෙල්සියස් 37 උෂ්ණත්වය, 38 නොවී,37ම තියාගන්න
අද සිට ආරම්භ වන නවතම ආදර ක්‍රියාන්විතය
අකුරු සහ ග්‍රැෆික් සම්පින්ඩණයෙන්
හරි අපූරුවට එකට එකතු කරලා තිබුණා....
පට්ට.....


යං ජෙනරේෂන් එකට ආමන්ත්‍රණය කරන මේ ටැබ් එකේ
නියම කෑල්ලක් තිබුණා
ලංකාවේ පරසිදු නිලි බට්ටියෙකුට
දීලා තිබුණා හොඳ ප්‍රශ්ණ පත්තරයක්
එයැයි ඒකට දීලා තිබ්බා නියම උත්තර ටිකක්
මරු ආ....
Solid.....
මේ නිලි බට්ටි කවුරුත් නෙමෙයි
උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
දේශපාලනේ කතා කොරන්න ගිහින් හොට බිම ඇනගෙන
පක්සෙත් මාරු කරපු
චංචලා....
ඕං අහපු ප්‍රශ්ණ වලට දීපු උත්තර



  • හෙරළි කියන්නෙ මොනවටද? නිදිකුම්බා නැටි....
  • Troy සිනමා පටියේ ප්‍රධාන නළුවා කවුද? ක්‍රිස් ගේල්
  • අම්බරුවන් කියන්නේ කාටද? මදුරුවන්ට
  • මාතර අච්චි නමින් ප්‍රසිද්ධියට පත්වුණේ? රංචාගොඩ ළමයාගේ ආච්චි
  • රජරට සේවය පිහිටා ඇත්තේ? මහනුවර



පෙර වාසනාවකට අහපු අනිත් ප්‍රශ්ණවලට දීපු උත්තර යන්නතම් හරි ගිහින්...
3 වසරේ ළමයෙක්ටත් උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්ණවලට 
පාර්ලිමේන්තු මන්ත්‍රිනී
ජනප්‍රිය නිලි ලේබලය අලවාගත්

උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
ඔන්න දීපු උත්තර...
අනේ පබා....
දේශපාලනේ කොරන්න කලියෙන්
හෙරළි සහ අම්බරුවන් කියන්නෙ මොනවද කියලා දැනගත්තනම්
හොඳයි නේද
පබා නෝනේ........
රඟපාන්න ඉස්සෙල්ලා
පරණ ෆිල්ම් ටිකක් බලලා
රජරට සේවය පොඩ්ඩක් ඇහුවනම්
හොඳයි නේද
මන්ත්‍රීතුමියනි.......
තවත් කියන්නට දෙයක් නම් නෑ...
ඒත් මේ වගේ
තරුණ හිත්වලට ඇමන්ත්‍රණය කරන්න හදන
 හොඳ වැදගත් දේකට
3 වසරේ කොල්ලො කුරුට්ටන්ග් මානසිකත්වයක්වත් නැති
මෙවැනි වූ 
බොරු සෙප්පඩ නිලි බට්ටියන්ව
ඈඳා නොගන්නා ලෙස 
ආදරයෙන් ඉල්ලනවා
අපේ ආදරණීය පත්තර කලාවේදී සහෝදරයන්ගෙන්.....


අලුත් ටැබ් එකට ආසිරි පතන ගමන් 
කැපෙන්නම්...
සෙල්සියස් 37ට ටෙම්පරේචරේ තියාගෙන
Six Pack ඇඟවල්වලට හොඳ ඔළුවක් හදාගන්න....
ජය වේවා......


ප.ලි :
 පත්තරේටත් වැරදිලා...
ශාරුක් ඛාන්ට අයිති ටීම් එක මුම්බයි ඉන්දියන්ස් නෙමෙයි
කොල්කටා නයිට් රයිඩර්ස්....
පත්තරේටත් හරි උත්තරේ මිස් වෙච්චි එකේ
පබා ගැන කවර කතාද?















  



Tuesday, June 5, 2012

ජුබිලිය


අවිඥාවාදී
උගතුන්
නටයි උඩ පනිමින්
මහ රැජිණ
වැජඹේවා
කෑගසයි උන්
නිරුවත්ව
ප්‍රබුද්ධ ලීලාවෙන්


බැල්කනියට වී
ලොව දකින
එළිසැබෙත්
ආචාර සමාචාර කරයි
දත් විරිත්තා
සිනාසී
මහේශාක්‍ය ලීලාවෙන්


මහ රැජිණ ලියන වගනම්
පිස්සු
හොඳටෝම පිස්සු
එළිසැබෙත්
සිනාසෙයි
කොක් හඬ තලා
රාජකීය ලීලාවෙන්


එඩිංබරෝ ආධිපාද තැන ලියන වගනම්
ලෙඩ ඇඳේ 
මම තනියම
ගෑණි
අරහෙ ජුබිලි පාටි
පිලිප් මුමුණයි
වේදනාබර ලීලාවෙන්





Tuesday, May 8, 2012

නර්ථන ලීලා.....

ආලවන්ත වීදිය
කෙළවරක
පෙනෙන
නොපෙනෙන
 ඇසිදිසි මානයක
ඔද වැඩී
තෙදබලව
හති ‍වැටී
හූල්ලන
මට
මහ හයියෙන්
හිනාවෙන
කුස පබා........



Monday, March 5, 2012

නූතන පෙම්වතියකගේ විලාපය

ඇය
කිසිත් නොදන්නී
සමාජ සම්මතයෙන්
පිට පැන
ආදරය කරන්නී
මානයේ 
වැහි වලාවෙන්
ශුද්ධ වූ ආදරය
පෙරා වෙන්කරන්නී......

වේදනාවේ
කටු ඔටුනු
හිසදරා සිටින්නී
සත්‍යයේ
පාටගෙන
ජීවිතය
වියන්නී.....

නිස්සාර
ලෝකයේ
ආදරය
යදින්නී
නමුදු
නිස්සාර
ආදරයේ
තරම විනිවිද දැක
විරහ කවි
ලියන්නී....


Saturday, February 25, 2012

විරහව

හෝමෝ සේපියන්ස්
මූලික නාමය ලද්දාවූ
මනුෂ්‍ය වර්ගයාගේ
වාසගම
"වෙනස" වූ නියාවෙන්
ජීවන ආකෘතික 
ශිෂ්ටාචාරයකට
පිඹුරුපත් සැකසූ
හිස් මොළ
ඒකායන අරමුණක
නතර වුණු
අපූරුව දැක
සුන් වී ගිය
හදවත්......



Saturday, January 7, 2012

ආදරය හා මරණය වැළඳගත් විට....

ඇය
ඔහුගේ 
හිරු කිරණ විය
වියැකී ගිය
ආන්තිකවාදී
සිහින හා පැතුමන්
වළලා දැමූ
සොහොන් ගැබ
එළිය කළ....

ඔහු
ඇයගේ
සඳ කිරණ විය
මලානික වූ
දුහුල්
චන්ද්‍ර කාන්තියෙන්
ඇයව 
සිත්තම් කළ....

ආදරය
මරණය වැළඳගත්
සීමාන්තික මොහොතේ
බිඳී ගිය හදවත්
හඬා වැළපිණි
ඇය 
හා
ඔහු
මං මුලා කොට....

ෆින්ලන්ත ගොතික් ශෛලිගත සංගීතවේදී  Villie Valo ගේ කවි හදවත සංවේදී කළ මොහොතේ ලියා තැබූ වග නම්....