Monday, August 22, 2011

"ස" ප්‍රසංගය, වික්ටර් රත්නායක සහ ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතය

මුළු යොවුන් රඟහල් ශාලාවම මඳ අන්ධකාරයේ ගිලී තිබුණි.සුළං කවුළු වලින් ශාලාව තුළට මළානික හිරුගේ අවසන් රශ්මි කදම්බ කිහිපය වැටී තිබුණත්, එය ප්‍රසංගයට ආවැඩුවා මිස බාධකයක් වූයේ නැත.පැමිණ සිටි රසික ජන කැල භාවනානුයෝගීව,සප්ත ස්වර අසිරියක නොකිලිටි රස මදිරාව පෙරා වෙන්කරගන්නට උත්සුක වූහ.සිත සුවපත් කරවන තාල තරංග අතරේ,පරිණත මියුරු කටහඬකින් ඉතාමත් අලංකෘත වූ පෙම් ගීයක් මිමිණෙන්නට විය.මම ඒ දෙසට මගේ සවන් යොමු කළෙමි.


ඔබෙ දෙතොල් පෙති දිගේ
පිපුණු හසරැල් විලේ
හඳ එළිය ගලා යයි
රැළි ලමින් සැලි සැලි
එවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ......

දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවාසීන් ඉමහත් ආදරයෙන් වැළඳගත් සුභාවිත ගීත කලාව,රසික සිත් සුවපත් කළේය. අරුත්බර වූ සංගීතයෙන් ඔප මට්ටම් වී,සරල ගී පද වැල්වලින් ලාංකීය ජන හදවත් නිවී සැනසූ මේ ගීත කලාව, ශ්‍රී ලංකාව තුළ මුල් බැසගත්තේ එවකට ලාංකීය ගීත කලාව ආක්‍රමණය කර තිබූ හින්දි ගී පරිවර්තන පුස්සක් කරමිනි.නමුත් අද වනවිට සුභාවිත ගී කලාව ඇත්තේ මරණ මංචකයේය.සුව කළ නොහැකි රෝගයකින් පීඩා විඳින,සම්පූර්ණයෙන් සුව කරගැනීමට ඔසුවක් නොමැතිව, අනේක දුක් විඳිනා රෝගියෙකු මෙන් සුභාවිත ගී කලාව පණ අදිමින් සිටී.අද පවතිනෙනේ අමුතුම ගීත කලාවකි.හිසේ ජෙල් තලියක් තවරා,ඉතිරි ජෙල් තලිය කටට දමාගෙන කොරෙක්ස්-D වලින් උගුර සෝදා,කලිසම බාච්චුවට ඇඳගෙන,'කොත්තු මී එකක් කමුද කෙල්ලේ?' කියා ඇසූ විට ඔහු ගායකයෙකු වෙයි.නැතහොත් යකුන් බඳිනා මන්තරයක් කියවන්නාක් මෙන් එක දිගට වචන ටිකක් කියාගෙන ගිය එකා,Music Industry එකේ Hit එකක් වන්නේ එක රැයකිනි.අද රටේ සංගීත කෙරුවාව එසේය.

තත්වය එසේ තිබියදී,පසුගිය සෙනසුරාදා(20) දින "ස" ප්‍රසංගයක් බලන්නට ගියේ හිතේ තිබුණු විභාග ආතතිය සමනය කරගන්නටත්,වියැකී යන සුභාවිත සංගීතයේ නියමාර්ථ රසාලිංගනය අත් විඳීමටත්ය.මාගේ ගජයන් වන දිලින,අදීශ සහ සසිරි සමඟ මහරගම යොවුන් රඟහලට රිංගා ගත් මම, අති මහත් වූ සුභාවිත සංගීතලෝලී ජනකාය මධ්‍යයේ දැහැනකට සම වැදුනාක් මෙන්,වර්තමාන සමාජ ප්‍රස්තූතයේ නෑසෙන ගී රස විඳගෙන කල්පනා ලොවකට පිවිසුණෙමි.


හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළැඹිලා
තරු කඩා වැටෙන විට 
අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ.....


අදීශයා හිමින් සීරුවේ ගීතය මුමුණ මුමුණ සිටියේය.


වික්ටර් රත්නායකයන් දැන් වියපත් සංගීතවේදියෙකි.හෙතෙම ශ්‍රී ලාංකීය සංගීත කලාවට සිදු කර ඇති මෙහෙය ගැන අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි.ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ සුමිහිරි සප්ත ස්වරය ලෙස අදහන එතුමා,තමන්ගේම ආරකින් යුත් සරල සුගම සංගීතයෙන් දශක 3ක් පුරාවට රසික සිත් සැනසුවේය.මේ මහා ගාන්ධර්වයාගේ ගීත,තවමත් කොතරම් ජනප්‍රියදැයි සිතා ගැනීමට කරුණු දෙකක් පමණක් සෑහෙන බව මට හැගී ගියේ නිතැතිනි.එකක් නම් කොත්තු මී කා,කොරෙක්ස් D වලින් කට හෝදන "හිපි" සංගීතකාරයෝ(ටකරංකාරයෝ කියුවොත් වඩා නිවැරදිය) රජ කරන වර්තමාන සමාජ සංස්කෘතිය තුළ,මෙවැනි අර්ථාන්විත වූ ප්‍රසංගයක් නැරඹීමට පැමිණි අතිමහත් ජනකායයි.අනෙක් කාරණය නම් මෙය වික්ටර් රත්නායකයන්ගේ 1435 වැනි දර්ශන වාරය වීමයි.කොතරම් වියපත් වූවත්,ඔහුගේ ගීත ගායනය එදා මෙන්ම ඉතාමත් මනහර වූ,ජවසම්පන්න එකක් වීම ගැන කිසිම අතිශයෝක්තියකින් යුතුව කතා කළ හැක. වර්තමානයේ සංගීතකාරයන් යැයි කියාගන්නා මහ ලොකු "පොරවල්වලට" මෙවැනි දෙයක් කරගන්නට පුළුවන් වේදැයි අල්ප මාත්‍ර හැඟීමකුදු අපට නැත.


සභාවෙන් නැඟුනු දැවැන්ත අත් පොළසන් නද නිමාවන ඇසිල්ලෙන් තවත් ගීතයකට තාල තරංග මුසුවන්නට විය. වික්ටර් රත්නායකයන්ගේ අර්ථපූර්ණ හඬ සැන්දෑ අහසට මුහු වන්නට විය.


තනි තරුවේ....
තනි තරුවේ....
ඔබත් ඔහොම ඔතන ඉන්න....
මමත් මෙහෙම මෙතන ඉන්නවා.....

"ඔන්න මචං මගෙ ආසම සින්දුව...පට්ටයි නේ...." දිලිනයා හරිබරි ගැසුනේය. එය මගෙත් ප්‍රියතමයක් වූ නිසා,ඒ දෙසට සවන් යොමා නැවතත් දැහැනකට සම වැදුනෙමි.



2 comments: