Monday, August 22, 2011

"ස" ප්‍රසංගය, වික්ටර් රත්නායක සහ ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතය

මුළු යොවුන් රඟහල් ශාලාවම මඳ අන්ධකාරයේ ගිලී තිබුණි.සුළං කවුළු වලින් ශාලාව තුළට මළානික හිරුගේ අවසන් රශ්මි කදම්බ කිහිපය වැටී තිබුණත්, එය ප්‍රසංගයට ආවැඩුවා මිස බාධකයක් වූයේ නැත.පැමිණ සිටි රසික ජන කැල භාවනානුයෝගීව,සප්ත ස්වර අසිරියක නොකිලිටි රස මදිරාව පෙරා වෙන්කරගන්නට උත්සුක වූහ.සිත සුවපත් කරවන තාල තරංග අතරේ,පරිණත මියුරු කටහඬකින් ඉතාමත් අලංකෘත වූ පෙම් ගීයක් මිමිණෙන්නට විය.මම ඒ දෙසට මගේ සවන් යොමු කළෙමි.


ඔබෙ දෙතොල් පෙති දිගේ
පිපුණු හසරැල් විලේ
හඳ එළිය ගලා යයි
රැළි ලමින් සැලි සැලි
එවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ......

දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවාසීන් ඉමහත් ආදරයෙන් වැළඳගත් සුභාවිත ගීත කලාව,රසික සිත් සුවපත් කළේය. අරුත්බර වූ සංගීතයෙන් ඔප මට්ටම් වී,සරල ගී පද වැල්වලින් ලාංකීය ජන හදවත් නිවී සැනසූ මේ ගීත කලාව, ශ්‍රී ලංකාව තුළ මුල් බැසගත්තේ එවකට ලාංකීය ගීත කලාව ආක්‍රමණය කර තිබූ හින්දි ගී පරිවර්තන පුස්සක් කරමිනි.නමුත් අද වනවිට සුභාවිත ගී කලාව ඇත්තේ මරණ මංචකයේය.සුව කළ නොහැකි රෝගයකින් පීඩා විඳින,සම්පූර්ණයෙන් සුව කරගැනීමට ඔසුවක් නොමැතිව, අනේක දුක් විඳිනා රෝගියෙකු මෙන් සුභාවිත ගී කලාව පණ අදිමින් සිටී.අද පවතිනෙනේ අමුතුම ගීත කලාවකි.හිසේ ජෙල් තලියක් තවරා,ඉතිරි ජෙල් තලිය කටට දමාගෙන කොරෙක්ස්-D වලින් උගුර සෝදා,කලිසම බාච්චුවට ඇඳගෙන,'කොත්තු මී එකක් කමුද කෙල්ලේ?' කියා ඇසූ විට ඔහු ගායකයෙකු වෙයි.නැතහොත් යකුන් බඳිනා මන්තරයක් කියවන්නාක් මෙන් එක දිගට වචන ටිකක් කියාගෙන ගිය එකා,Music Industry එකේ Hit එකක් වන්නේ එක රැයකිනි.අද රටේ සංගීත කෙරුවාව එසේය.

තත්වය එසේ තිබියදී,පසුගිය සෙනසුරාදා(20) දින "ස" ප්‍රසංගයක් බලන්නට ගියේ හිතේ තිබුණු විභාග ආතතිය සමනය කරගන්නටත්,වියැකී යන සුභාවිත සංගීතයේ නියමාර්ථ රසාලිංගනය අත් විඳීමටත්ය.මාගේ ගජයන් වන දිලින,අදීශ සහ සසිරි සමඟ මහරගම යොවුන් රඟහලට රිංගා ගත් මම, අති මහත් වූ සුභාවිත සංගීතලෝලී ජනකාය මධ්‍යයේ දැහැනකට සම වැදුනාක් මෙන්,වර්තමාන සමාජ ප්‍රස්තූතයේ නෑසෙන ගී රස විඳගෙන කල්පනා ලොවකට පිවිසුණෙමි.


හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළැඹිලා
තරු කඩා වැටෙන විට 
අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ.....


අදීශයා හිමින් සීරුවේ ගීතය මුමුණ මුමුණ සිටියේය.


වික්ටර් රත්නායකයන් දැන් වියපත් සංගීතවේදියෙකි.හෙතෙම ශ්‍රී ලාංකීය සංගීත කලාවට සිදු කර ඇති මෙහෙය ගැන අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි.ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ සුමිහිරි සප්ත ස්වරය ලෙස අදහන එතුමා,තමන්ගේම ආරකින් යුත් සරල සුගම සංගීතයෙන් දශක 3ක් පුරාවට රසික සිත් සැනසුවේය.මේ මහා ගාන්ධර්වයාගේ ගීත,තවමත් කොතරම් ජනප්‍රියදැයි සිතා ගැනීමට කරුණු දෙකක් පමණක් සෑහෙන බව මට හැගී ගියේ නිතැතිනි.එකක් නම් කොත්තු මී කා,කොරෙක්ස් D වලින් කට හෝදන "හිපි" සංගීතකාරයෝ(ටකරංකාරයෝ කියුවොත් වඩා නිවැරදිය) රජ කරන වර්තමාන සමාජ සංස්කෘතිය තුළ,මෙවැනි අර්ථාන්විත වූ ප්‍රසංගයක් නැරඹීමට පැමිණි අතිමහත් ජනකායයි.අනෙක් කාරණය නම් මෙය වික්ටර් රත්නායකයන්ගේ 1435 වැනි දර්ශන වාරය වීමයි.කොතරම් වියපත් වූවත්,ඔහුගේ ගීත ගායනය එදා මෙන්ම ඉතාමත් මනහර වූ,ජවසම්පන්න එකක් වීම ගැන කිසිම අතිශයෝක්තියකින් යුතුව කතා කළ හැක. වර්තමානයේ සංගීතකාරයන් යැයි කියාගන්නා මහ ලොකු "පොරවල්වලට" මෙවැනි දෙයක් කරගන්නට පුළුවන් වේදැයි අල්ප මාත්‍ර හැඟීමකුදු අපට නැත.


සභාවෙන් නැඟුනු දැවැන්ත අත් පොළසන් නද නිමාවන ඇසිල්ලෙන් තවත් ගීතයකට තාල තරංග මුසුවන්නට විය. වික්ටර් රත්නායකයන්ගේ අර්ථපූර්ණ හඬ සැන්දෑ අහසට මුහු වන්නට විය.


තනි තරුවේ....
තනි තරුවේ....
ඔබත් ඔහොම ඔතන ඉන්න....
මමත් මෙහෙම මෙතන ඉන්නවා.....

"ඔන්න මචං මගෙ ආසම සින්දුව...පට්ටයි නේ...." දිලිනයා හරිබරි ගැසුනේය. එය මගෙත් ප්‍රියතමයක් වූ නිසා,ඒ දෙසට සවන් යොමා නැවතත් දැහැනකට සම වැදුනෙමි.



Monday, August 15, 2011

කුවේණී

අපහාස
උපහාස
විඳ දරාගත්තා
බැති සිතින්
කුවේණී
දරු ගැබත්
කුස දරාගෙන....

දුක
වේදනාව
විඳින්නට බැරුව
නොපෙනෙන මානයක ඉඳ
ඉකි බින්දා
කුවේණී
දරු ගැබත්
තුරුළු කරගෙන....


Tuesday, August 9, 2011

සිපිරි ගෙය

කොහෙදෝ සිට පැමිණි
නිම නොවුනු ගිම්හානය
කතා කළා මට
හරිම ආදරෙන්......


විශ්ලේෂණාත්මක දත්ත ගොන්නේ
අනිත්‍ය රාමුවක කැරකැවෙන
පරිගණකගත භෞතීස්මයට
තිත තියපන්......


ජීවිතේ විඳින්න
අරුත්බර වෙන්න
ඉලෙක්ට්‍රෝනිකවාදී මායාවට
පයින් ගහපන්......


ඒත්
පරක්කු වැඩියි
ඩිජිටල් අවකාශයේ
යතුරු රහිත යදම්වලට
මම
සම්පූර්ණයෙන්ම සිරවෙලා අවසන්......


සිපිරි ගෙය
අද හරිම මූසලයි...................


Thursday, July 21, 2011

Transformers

ගිනි පුපුරුවලට පදම් වූ
යකඩ කැබලි දසත විසිවෙද්දී
IronHideගේ නිරුද්ධ වූ සිරුර දිහා
Bumble Bee බලා සිටියා
නිරුත්තර වී......
කනට නෑසෙනතරම් වූ
සෝ සුසම් මැද
Optimus Prime කෑගැසුවා
ලිබර්ටිය දෙදරවමින්
මගේ දෙසවනට මුවා වී.....


(full කට්ටක් කාගෙන,ටිකට් book කරගෙන ගිහින් බලපු Transformers 3 ගැන හිතට ආපු දේ,මෙසේ ලියා තැබූ වගයි.)

Tuesday, July 12, 2011

රෝමියෝ.....

"මචං,මම ඒ කෙල්ලට ආදරේ කළේ හරියට අයියා කෙනෙක් වගේ.ඒකට ලොකුම හේතුව උනේ ඒකි මට වඩා අවුරුදු 4කට බාල වෙච්ච නිසා.මාස 6ක් අපි හොඳට ලව් කර කර හිටියා බන්..."

රෝමියෝ, මා ඉදිරියේ තමන්ගේ ප්‍රේම ව්‍රෘතාන්තය දිග හැරීමට පටන් ගත්තේය.මා හට එය පවසන්නට හේතු වූ කාරණය මට හරියටම මතක නැත.ඒ කාරණාව කුමක් වුවත්,පැහැපත් පෙනුමක් සහිත,කෙට්ටු සිරුරකින් හෙබි රෝමියෝගේ අතීතාවර්ජනය අසා සිටින්නට මා පෙලඹවූයේ,කතන්දර ඇසීමට කුඩාකල සිටම උරුම වූ මාගේ අසීමාන්තික ඇබ්බැහිවීම බව මම දනිමි.

කොලඹින් ගව් ගණනක් ඈත,ඉතාමත් සුන්දර නගරයක ජීවත්වන අපේ රෝමියෝට,තමන්ගේ හද පත්ලේ සැඟවී තිබූ යෞවනාලය උද්දීපනය කරන්නට සමත්වූ  ජූලියට්ව මුණ ගැසුනේ තමන්ගේ මිත්‍රයෙකුගේ අනුදැනීමකිනි.ඒ සොඳුරු හමුවීම සිදුවූ දා පටන්,රෝමියෝ-ජුලියට් ආදර අන්දරය ලියලා,දළුලා වැඩුණේ,මොහොතින් මොහොත වෙන්ව යන සෑම තත්පරයකදීම ඔවුන් දෙදනාට පරම පිවිතුරු ආදරයෙන් වෙළෙන්නට ඉඩ දෙමිනි.රෝමියෝ උසස් අධ්‍යාපනය හැදෑරුවේ අගනුවර සුප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයකය.අධ්‍යාපනය ගැන තබා තිබූ සියළු ප්‍රාර්ථනා,ප්‍රථම ප්‍රේමය හමුවේ වියැකී බොඳවී යද්දී,නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව චණ්ඩ හිරු රැස්වලට ආවරණයක් කරගනිමින්,රුපියල් 3කට මිලට ගත් Center Freshය හකු පාඩා අතර උඩ පහළ යවමින්,ජූලියට් පන්ති ඇරී එනතෙක් පැය ගණන් මග බලාසිටියේ සදාදරණීය පෙම්වතෙකු ලෙසිනි.

"උඹ දන්නවනෙ බං,මම මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයිනෙ. ඒ වුනාට මම ගෙදරින් මාර ගේමක් දීලා රුපියල් 500ක් හොයාගන්නවා කෙල්ල නිසා.පැය ගණන් චාටර් කාගෙන මම බලාගෙන ඉන්නවා එයා එනකන්.කෙල්ල මග එනවා දැක්කම,කාපු චාටර් මොනවද කියලා හිතෙනවා බං.ඒකි දැක්කම හිතට එන කික් එක මාර සීරියස් බන්.."

හිතට නැගුණු "සීරියස් කික්" එක මතක් වුන නිසාදෝ,රෝමියෝ තත්පර කීපයක් අහිංසක ලෙස සිනාසුනේය.සුසුදු වත,සිහින් ශරීරය, මනබඳින ඇස් දෙක, ඇස් දෙකෙන් තමන් වෙත එල්ල කරන අපූරු හිනාව දකින හැම මොහොතකම,තමන් තුළ සැඟව තිබූ ආදරය පිම්බී එන්නාක් මෙන් තමන්ට දැනුනු බව රෝමියෝ මට පවසා සිටියේය

"පන්ති ඇරිලා ආවට පස්සෙ මම එයාව පේස්ට්‍රි ශොප් එකට අරගෙන ගිහිල්ලා කන්න අරන් දෙනවා.ගොඩක් වෙලා අපි කතා කරනවා.ඊට පස්සේ නංගිව ගෙදර ගාවට බස්සවලා තමා මම ගෙදර එන්නේ.මම ගෙදර එන්නෙ අන්ත අසරණ හිඟන්නෙක් වගේ බං.හැමදාම වගේ පර්ස් එකේ තියෙන්නේ රුපියල් 10ක් හරි 20ක් හරි..".

  "පස්සෙ පස්සෙ ඒකි මාව බාල්දු කරන්න පටන් ගත්තා බං.මුලදි තිබ්බ ආදරෙන් බිංදුවක්වත් මට ඒකි පෙන්නුවෙ නෑ.ඒත් මම ඉවසුවා බං,මම හිතුවා මගේ අතින් මොනවහරි අඩුපාඩුවක් වෙන්න ඇති කියලා.ඒත් මම දන්න හැටියට එහෙම දෙයක් වුනේ නෑ.දවසක් මම දාඩිය පෙරාගෙන නංගි එනකන් මගබලාගෙන හිටියා.ඒකි මාව දැකලා මොකක්ද කියුවෙ දන්නවද? 'අපෝ ඔයා ගාව හරි දාඩිය ගඳයිනෙ,හොඳ perfume එකක් ගහගෙන එන්නකො' කියලා."

රෝමියෝ නැවතත් සිනාසුනේය.මුකුත් නොකර නිකන් සිටියේ මන්දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.බොළඳ ආදරය ඉදිරියේ පුරුෂාධිපත්‍යය හීන වී ගිය අයුරු ඔහු මතක් කළේ නැවතත් සිනාසෙමිනි."මට කටට අවා බං හොඳ එකක් කියන්න, ඒත් පොඩි කෙල්ලෙක් නිසා ඉවසගෙන හිටියා.." රෝමියෝ පාපොච‍ඡාරණය කළේය.මාසයක් ගතවූ තැන, ඔවුන්ගේ කුළුඳුල් ආදරය දෙදරා යන ලකුණු පහල වන්නට ගත් බව රෝමියෝ තෙපළේය.ජූලියට් නිතරම වාගේ රෝමියෝගේ විරැකියාව,සමාජ තත්වය,මුදල් ගැන ප්‍රශ්න කරන්නට පටන් ගත්තාය."මම ඇහුවා බං එයාගෙන් 'ඔයා ආදරේ කළේ මටද?මගෙ සල්ලිවලටද?' කියලා.එතකොට එයා කියුවේ 'මොනව කරන්නත් සල්ලි ඕන,රස්සාවක් ඕන. ඔයාට ඒ දෙකම නෑනෙ අයියෙ...' ".

ඉවසාගන්නට නොහැකි තැන,තමන්ගේ කුළුඳුල් ආදරයට තිත තබන්නට රෝමියෝ කල්පනා කළේය.හද පාරගෙන නගින රුදුරු වේදනාවන්,කඳුලු ගංගාවන් ලෙස දෝරේ අරින්නට ඉඩ දී ඔහු ජීවිතයේ අසාර බව මෙනෙහි කරන්නට විය."මගෙ මුළු ජීවිතේ,මගෙ අධ්‍යාපනේ,ඔක්කොම දේවල් විනාස කරගෙන මම ඒකිට ආදරේ කලා බං,ඒ උනාට අන්තිමට ඒක විහිළුවක් උනා.පස්සේ ඒකි හෙනට සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාළු උනා කියලා මට කොල්ලෙක් කියුවා.මිනිස්සුන්ට ශාප කරන හැටි මම ඉගෙන ගෙන නෑනෙ බං,ඉගෙන ගෙන තිබුනනම්...එත් මට ඒකිට සාප කරන්න බැරිවෙයි බං...".

ඔහු තම කථාව එසේ කියාගෙන ගියේය.ප්‍රේම මායා දැලෙහි පැටලී හීනයක් ලෙස ගෙවෙන ජීවිතය නැමැති යථාර්ථයේ,ආදරය නැමැති සංකල්පය එක මොහොතින් බිඳී යන්නේ අළුයම නැගෙන තුෂාරයක් ලෙස බව මම ඔහුට මතක් කර දුන්නෙමි.එවිට රෝමියෝ නැවතත් සිනාසුනේය.ඔහුගේ ප්‍රේම ව්‍රෘතාන්තය තවමත් ඉවර නැතැයි ඔහු කී විට මම පුදුමයට පත්විය.

"මාස 2ක් විතර යන්න ඇති.මම හැමදෙයක්ම අමතක කරල දාලා හිටියෙ මචං.ඒත් එක දවසක් හදිසියේම නංගි කතා කළා.එයා අඬ අඬ මට ලොකු විස්තරයක් කියුව බං.එයාට ඕන උනේ සල්ලි විතරලු.ඇත්ත ආදරේ මොකක්ද කියලා එයාට තේරුනේ නෑලු.මම නැතුව ජීවත් වෙන්න බෑ කියලා ඒකි අඬ අඬ කියුවා."

"නංගිගෙ කටහඬ ඇහුන ගමන් මට මොනවා වුනාද කියලා මම දන්නෙ නෑ බං.කාගෙන,දම්වැල් දාලා හිරකරගෙන හිටපු මගේ පුරුෂ ධෛර්යයට පණ නැති වුනා මචං.ආදරේ ඉස්සරහා මම ආයිමත් බෙලහීනයෙක් වුනා.මම ආපහු නංගිව බාරගත්තා බං... "

මේ පුදුමාකාර පුද්ගලයා දිහා තත්පර ගානක්  මා බලා සිටින්නට ඇත.මොහුගේ ක්‍රියා කලාපය කුමන ප්‍රස්තූතයක් යටතේ වර්ග කරන්නෙම්දැයි මම කල්පනා කළෙමි.රෝමියෝ මගේ සිතැඟි තේරුම් ගන්නට ඇත."උඹ හිතනවා ඇති මම මෝඩ තකතීරුවෙක් කියලා.ඒත් කථාවක් තියෙනවනෙ බං ආදරයේදි හැමෝම අන්ධයි කියලා.මමත් අන්ධ වුනා බං.මම දෙපාරක් අන්ධ වුනා මචං.තුන්වෙනිපාරත් අන්ධ වෙයිද කියලා කවුද දන්නේ? "

"නංගි ආපහු පන්ති යනවා බං.මම වෙනදා වගේම ඔරලෝසු කණුව යටට වෙලා,Center fresh එකක් කකා,මග බලාගෙන ඉන්නවා එයා එනකන්..." අහිංසක සිනාවකින් මුව සරසාගෙන රෝමියෝ කතාව අවසන් කළේය.

මගෙන් සමුගෙන ඉවතට ඇදී යන මේ අපූරු චරිතය ගැන මම නැවතවතාවක් කල්පනා කළෙමි.මම ඔහු මෝඩ තකතීරුවෙක් කියා කිසිවිටෙකත් නොසිතමි.නමුත් ඔහුගේ ක්‍රියාව කෙසේ විස්තර කරන්නදැයි මට තවමත් අංශු මාත්‍රයක අදහසක් නැත.තුෂර බිංඳුවක් ලෙස ආදරය බිඳී ගිය විටදී,බිඳී ගිය තුෂාරය,බිංඳුවෙන් බිංඳුව නැවත එක්කරන්නට හැක්කේ මෙවැනි රෝමියෝ කෙනෙකුට පමණක් බව  මට හැඟී ගියේ නිමේෂයකිනි.



Tuesday, June 28, 2011

නිසදැසක මතකය.....

දවස් 3ක විතර හීනි නිවාඩුවක් හම්බවුන නිසා සිතට දැනුනේ මාර lovely feeling එකක්.හිතට ආපු නිදහසේ කාහල නාදය කොච්චර සුමිහිරිද කියනවානම්, සතියකට කලින් කරන්න හිතාගෙන හිටපු වැඩ කීපයක්ම මගේ මනස ඉදිරියේ ඉතාමත් පැහැදිලි ස්වරූපයෙන් මැවී පෙනුනා.කවදත් වගේ හිතට ආපු 1st feeling එක වුනේ හොඳ ආතල් නින්දක් දාන එක."පැය 24න් පැය 12ක්ම කරන්නේ නිදාගන්න එකනේ...." ඔන්න මගේ ආදරණීය සිතුවිල්ලට අපේ අම්මා දුන්න reply එක. අග්නිසරයක් වගේ එල්ලවුන අම්මාගේ සත්‍යවාදී reply එක ඉදිරියේ මම,මගේ සිතිවිල්ලත් කුදලාගෙන side ගැහුවා. ඊටපස්සේ මම කල්පනා කලා,"යකෝ...2nd semester එක්සෑමුත් ළඟ ළඟම එනවනේද?අන්තිම වෙනකන් හිටියොත් sorry.com තමා" කියලා.එහෙම කල්පනා කරපු මම,පොත් ටික එක්කාසු කරගෙන මේසෙට ගොඩ උනා.ගොඩ උනාට මොකද,පොත් ටික එකතුකර ගත්තම මට ඒ ටික පෙනුනේ පුද්ගලානුරූපීව,හරියට මාව ගිලගන්න බලාගෙන ඉන්න යකෙක් වගේ."විභාගයට සතියකට කලින් පාඩම් කිරීම" කියන න්‍යාය කොහෙද ඉඳන් මට කතා කරනවා වගේ හැඟිච්ච නිසාම,මම මේසෙන් නැගිට්ටේ තව මොනවද ඉතුරුවෙලා තියෙන options කියලා කල්පනා කරගෙන.

Idealessව වටපිට බලපු මට,තවත් idea එකක් ඔළුවට කිඳාබැස්සේ මගේ අතිවිසාල පොත් රාක්කය දැක්කමයි.අන්තිමට පොත් රාක්කය සුද්දකලේ(හරියට) මීට මාස 2කට විතර කලින් වෙච්ච නිසාමදෝ,ආපහු ඒක මකුළුවන්ට කදිම ජනාවාසයක් බවට ඉතාමත් වේගයෙන් පරිවර්තනය වේගෙන එන බව මගේ විනිවිද දකින සුලු ඇස් දෙකට පෙනී ගියා.හිතට ආපු kick එක ආශිර්වාදයක් කරගෙන හා හා පුරා කියලා පටන් ගත්තා පොත් රාක්කෙ අස්කරන්න.දූවිලිවලට හරි සංවේදී වෙච්ච නහයක් උරුම මම,හෙම්බිරිස්සාවේ අනිසි දුක උරුම කරගන්න කැමති වුනේ නැති නිසා,ලේන්සුවකින් නහය වහගෙන වැඩේ continue කරගෙන ගියා.වැඩේ continue කරගෙන යනකොට මට අහු උනේ හරි අපූරු පොතක්.ඒ තමා අපේ Science Day එකේ Souvenir එක. Souvenir එක දැක්කම මගේ මතකය,අවුරුදු 2ක අතීතයට  පටස් ගාලා log උනේ high speed internet connection එකක් පාවච්චි කරනවා වගේ.Science Day එක organize කරපු හැටි,laptop හොයාගන්න බැරිව ගෙවල්වල තිබ්බ desktop pc ටික උස්සගෙන ගිහින් එක තැනක සෙට් වෙලා වැඩ  කරපු හැටි,සල්ලි හොයාගන්න organizersලා හොයාගන්න චාටර් කාපු හැටි,එකී නොකී හැම දේම මතක් වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ.ඒ මතකෙත් එක්ක souvenir එකේ පිටු කීපයක් පෙරලනකොට මම නැවතුනේ souvenir එකේ අන්තිම හරියෙ තිබුන නිසදැසක් ළඟ.ඒක ලියුවෙ මමයි,මගෙ අතිජාත මිත්‍රයා වන දිලිනයි.

Science Day එකේ souvenir එක හදන්න බාරවුනේ මටයි,දිලිනටයි.වැඩේ එක පයින්ම බාරගත්ත අපි දෙන්නා,නිවාඩු දවසක සෙට් උනා දිලින ලොක්කගෙ ගෙදර.හෝමගමින් හොඳ කොත්තුවක් කාපු අපි දෙන්නා,කාපු කොත්තුව බඩට බහින්නත් එක්ක 5km ක් එක හුස්මට දුවගෙන අවා,කෙළින්ම ඇවිත් නතර වුනේ දිලින ලොක්කගෙ ගෙදර.ඊට පස්සේ souvenir එක හදන්න හිතින් හොඳ master plan එකක් ගහපු අපි දෙන්නා,හිතපු ප්ලෑන sketch කළා.මධ්‍යම රාත්‍රිය වෙනකන්,හොඳ සින්දු ටිකක් කනට වැටෙන්න රේඩියෝ එකේ මීටරේට දස වද දිදී චැනල් මාරු කර කර  ,අපි දෙන්නා souvenir එක sketch කර කර හිටියා.මෙහෙම ඉන්නකොට තමා දිලිනයා කියුවේ,"මචං,සමරුව ලස්සන වෙන්න අපිත් වැඩ කෑල්ලක් දාමු.උඔ හොඳ නිසදැසක් ලියපන්..." කියලා.මටත් ඉතින් හරි පල්ලම,මම කියුවා "මම ලියන්නම්...උඔ ඇඳපන් ඒකට එල චිත්‍රයක්...".ළඟ පාත තිබුණු කොලයක් අරගත්ත මම හිතේ තිබුණ feelings ඔක්කොම එකට එකතු කරලා ලියුවා නිසදැසක්.නිසදැස ලියලා ඉවරවෙනකොටම වගේ මගේ අතිජාත මිත්‍රයත් මම ලියපු නිසදැසට හරියන්න නියම කංචුකයක් ගහලා තිබුනා.අපි දෙන්නා එකතුවෙලා නිසදැසට දැම්ම මාතෘකාව වුනේ "දයාබර යෞවනය" . මෙන්න අපේ නිසදැස....


මේ නිසදැස දැක්කම ජීවිතේ කොච්චර රැඩිකල්ද කියලා මට හිතුණා.A/L කාලෙදී අපි දෙන්නට තිබුණෙ දහසක් බලාපොරොත්තු.  A/L කාලේ හැම කොල්ලෙක්ම දකින normal හීන තමයි අපි දැක්කෙත්. දිලින ලොක්කා කළේ Maths.මෑන්ස් හිතාගෙන හිටියෙ ඉංජිනේරුවෙක් හරි Air Force Pilot කෙනෙක් හරි වෙන්න.මම කළේ Bio.මගේ හිතේ තිබුණ අහිංසක බලාපොරොත්තුව වුනේ දොස්තර කෙනෙක් වෙන්න.ඒත් results ආවට පස්සේ ඒ හීන එහෙම්මම කෑලි කෑලිවලට අපි ඉස්සරහම බිඳිලා ගියා.කොටින්ම කියනවානම්,අපි දෙන්නා ජීවිතේ කවදාවත් නොහිතපු පැති 2කට තල්ලු වෙලා ගියේ  නොදැනුවත්වම කියුවොත් මගේ අතිජාත මිත්‍රයා මගෙත් එක්ක එකඟ වෙනවා ඇති.අද දිලින ලොක්කා Mora යුනියෙ Architecture Department එකේ එල වැඩකරුවෙක්.මගේ ජීවන එන්ජිම දුවන්නේ කොම්පියුටර් ලොජික්ස්,කොම්පියුටර් ලැන්වේජස් එක්ක තමා.කවුද හිතුවෙ අපි මේවා කරයි කියලා.ජීවිතේ හිතපු දේවල්, කරන්න හිතාගෙන හිටපු දේවල් කොච්චර  වෙනස් වුනත්,අපි දෙන්නගෙ එදා ඉඳන් තිබුණ යාලුකම වෙනස් වෙලා නෑ අංශු මාත්‍රයකින්වත්.ඒ ගැන අපි ඉතාමත් නිහතමානීව ආඩම්බර වෙනවා.

මේ ඔක්කොම මතකයන් අතරේ හිරවෙලා හිටපු මට,යාන්තමට වගේ අම්මගෙ කටහඬ ඇහුනා.souvenir එක පැත්තකින් තියලා,කර කර හිටපු වැඩේටත් එහෙමම තිත තියලා,මතකෙට හදිසියෙන් වගේ ආපු සුන්දර මතක ටික එකට පොදි කරගෙන අම්මා ඉන්න දිහාට හිමින් හිමින් ඇදුනා.ඇත්තටම ජීවිතේ කොච්චර රැඩිකල්ද කියලා මට ආයිත් කල්පනා උනා......

Thursday, June 16, 2011

Proජෙක්ට්......

මා ප්‍රිය Blog පාඨක අයියේ,අක්කේ,නංගියේ,මල්ලියේ,යාළුවේ,යෙහෙළියේ........අසරණ වූ ගැත්තාට සමාවනු මැනවි.අති සුවිසල් වූ කාල පරාසයකට පස්සේ (හරියටම මාසයක්) ඔබ සැම හමුවීමට ලැබීම ගැන මා සිටින්නේ ඉමහත් වූ ප්‍රීතියකින්.ගෙවීගිය සති 3ක පමණ කාලය මා හට ඉතාමත් කර්කශ වූ period එකක් බැව් ඔබට පවසන්නේ කිසිදු බියකින් තොරවයි.Diploma එකේ අවසන් project එක නිම කිරීමට සති එකහමාරක් අත්ථිකිලමතානු යෝගය පිරූ මට, අවසානයේ සිදුවූයේ තවත් සති එකහමාරක් බෙහෙත් පෙති 8ක් ගිලමින් ගෙදරට වී  "පෙතිගිලානයෝගය" පිරීමටයි. ජීවිතයේ පළමුවතාවට ක්ලාන්තය අත්විදීමට අවස්ථාව උදාකරගත්තද, බොහෝම අමාරුවෙන් බිම නොවැටී දෙපයින් සිටගෙන සිටීමට මා පින්කර තිබුණි,නැත්නම් නංගිලාගෙන් අනිවාර්යයෙන් අතිමහත් චාටරයක් කෑමට ඉඩ තිබුණි.දොස්තර මහතාගේ නිගමනයට අනුව මගේ pressure එකද බැස තිබුණි.මගේ අතිජාත මිතුරා වන දිලින ජනදිත් පවසන ආකාරයට ඔහුට pressure බැස්සවිට කවි ලියන්නට හැකිලු. 'උට බැරිනම් මට බැරි මොකද' කියා මමත් try පාරක් දුන්නෙමි.නමුත් කවි ලියන්නට මනස සකස්කරගැනීමට නොහැකිවූ තැන වැඩේ අතහැර,  Pressure බැස්සවිට කවි ලිවීමේ Technique එක ප්‍රගුණ කරන ආකාරය දිලින ලොක්කාගෙන් අසාදැනගැනීම සඳහා පිඹුරුපත් සකස්කළෙමි.

අද Blog එකේ මාතෘකාවට තෝරාගන්නට සිතුවේ අපේ ඩිප්ලොමා ප්‍රොජෙක්ට් එක පිළිබඳවය.'ඇයි ඒ?' කියා කවරෙකුහෝ විමසනවානම්,මා එයට දෙන පිළිතුර  'මගේ හද්ද කම්මැලි ජීවිතය කියන ගොලුබෙලි කට්ටෙන් මාව එළියට ඇදලා දැම්මේ  Project එක' කියායි.මා පමණක් නොව,  ලසන්ත(ලැසී), අදීශ(අදියා), බනුර(බනූ) කියන්නාවූ ඉතිරි සාමාජික සාහෝදර තුන්කට්ටුවද Tune up කර ගත්තේ, අද දවසේ උද්දෘතය මගිනි.

 Project  එකේ මාතෘකාව වූයේ System Design ය. නමගිය ආයතනයක් අල්ලාගෙන එහි තිබෙන System එකට වඩා හොඳ System එකක් නිර්මාණය කිරීමට අපට සිදුවිය.System එක implement කරන්නට (Program කරන්නට) දුන්නේ නැත, අපට කරන්නට දී තිබුණේ Design එක පමණි.අප තොරාගත්තේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තුමේන්තුවේ මානව සම්පත් කලමනාකරණ අංශයයි.පරණ පිනකට අදීශට සහ මට ඩිප්ලෝමා එකේ Distinction ලැබී තිබුණි.Distinction එක ගොඩගැනීමටනම් project එක මැයි 31ට ප්‍රථමයෙන් බාරදීය යුතුය,නැත්නම් Distinction එක කප්පාදු කර දමයි.එයට මූලික හේතුව නම් Distinction එකට  ලබාදෙන රු:10000 යටිමඩි ගැසීමය.Distinction නැතිවුනත් ලැසියා සහ බනුවා අපේ Distinction බේරාදීම සඳහා සටනට අවතීර්ණ වූහ. ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවට මහ ඇණයක් වූ අපි, එහි වූ දූවිලි පිරුණු file අවුස්සමින්, වැඩ කරන පිරිසගෙන් නොයකුත් ප්‍රශ්න අසමින්, කිසිම වැදගැම්මකට නැති ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවේ HRM System එක උඩුයටිකුරු කරමින් project වැඩ දිගටම ඇදගෙන ගියෙමු.

කවදත් අපට කොකා පෙන්වන පරිපාලනය,මෙවර අපට කොකා පෙන්නුවේ මැයි 31වෙනිදාට යොදා තිබුණු දවස 27වෙනිදාට දැමීමෙන්ය. ඉතිරිව තිබුණේ දවස් 5කි. ඉවරකරන්නට තව වැඩ සෑහෙන තිබුණි.ඔක්කොම වෙන්නේ හොඳටයි කියමින් ඉතිරි දවස් 5ම නිදි මැරීමට අපි තීරණය කලෙමු.ඒ සඳහා තෝරාගත්තේ බනුවාගේ ගෙදරය.කඩවතට එහා ඉතාමත් නිසංසල පරිසරයක ඇති බනුවාගේ ගෙදර සිට නිදිමරාගෙන, ඉතිරි වැඩ ටික ඉවරයක් කර දැමුවෙමු.පොඩි අවුලකට තිබුනේ බනුවාගේ ගෙදර Earth Line එකය. එක වේලාවකට පිස්සු නටන බනුවලාගේ  Earth Line එක නිසා,මම අම්බානක current වද්දාගත්තෙමි. ඊළඟ වතාවේ එනවිට එය විසඳා තබන බවට බනුවා පොරොන්දු විය.

කෙසේ හෝ වේවා 27වෙනිදාට යෙදී තිබුණු  VIVA, 30වැනිදා දක්වා කල් ගියේය. අමතර දවස් 3ක් ලබාදුන් පරිපාලනයට නොව දෙවියන්ට පින්දුන් අප, මෙවර රිංගුවේ ලැසියලාගේ ගෙදරටය.project එකේ තිබුණු වැරදි නිවැරදි කර සම්පූර්ණ කරගැනීමට අපට ඒ දවස් 3 ප්‍රමාණවත් විය.31 වැනිදා 10.45ට පමණ යෙදුනු සුබ මොහොතින්,දවස් ගණනක් ඉමහත් කට්ටක් කාගෙන designකල System project එක,submit කර VIVA දෙන ලදී. Project කිහිපයක්ම reject වෙද්දී, අපේ project එක accept වුනේ නැවතී තිබූ අපේ හදවත් නැවත පණ ගන්වමිනි.

Proජෙක්ට් කතන්දරය එසේ නිමාවට පත්විය.කතන්දරය මෙසේ නිමාව දකිද්දී, අපේ වෑයම සාර්ථක කරගැනීමට අපට සහයදුන් අය අමතක නොකිරීමට මම තීරණය කලෙමි.වටිනාම ස්තූතිය පිදිය යුත්තේ අපගේ දෙමව්පියන්ටයි.ඔවුන්ගේ ආශිර්වාදය හා අනුබලය අපට නිසි අයුරින් නොලැබුනානම් මේ තරම් සාර්ථකවූ project එකක් කරගැනීමට අපට නොහැකිවන්නට තිබුණි.අපට නවාතැන් දී, කවදත් පිරවීමට නොහැකි අපේ කුසවල් රසබර ආහාරයන්ගෙන් පිරවූ බනුවාගේ සහ ලැසියාගේ දෙමව්පියන්ට විශේෂ ස්තූතිය මෙහිදී පුද කර සිටිමි.කවදත් අප සමග සිටින මිතුරු මිතුරියන්වද මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරමි.ඔවුන්ගෙන් අපට ලැබුනු සහය අතිමහත්ය.නියමිත දිනයට පයින් ගසා,හිතුමනාපය පරිදි දින යොදමින්,project එක තවත් සාර්ථකව නිම කරන්නට අපට පෝෂණය සැපයූ පරිපාලනයද මෙහිදී මතක් කිරීම වටී.

උදව් දුන්,නොදුන් සියලූම දෙනාට නැවත වතාවක් ස්තූතිය පිරිනමින් අදට Hiyal ද මෑන්ගේ අනංමනං Blog එකෙන් සමුගන්නම්.අවසර...............





(ඡායාරූප සහය : උදුල් කංචන ජයසිංහ)