Wednesday, December 26, 2012

ඔබ...

රෑ සඳ ඇවිත් ගියා 
හීන මැදින් 
රහසේම හිමින් 
ආදරේ බිඳුවක් 
ඇබින්දක් 
ඔබ අරන් ඇවිත් තිබුණා 
මල් මකරන්ද සුවඳ තිබුණා....


Saturday, November 3, 2012

සන්තර්පණය සහ නියුරෝසියාව

ඇය 


එම මූසල පශ්චිම යාමයේදී මට ඇයව ප්‍රථමයෙන්ම දර්ශනය විය. කල්ගත වූ නියතියන්, කර්ම ශක්තීන් ඇයගේ සියුමැලි සිරුරට අබරණ විය. දුර්වල සිරුරේ භංගුර භාවය මැනවින් විද්‍යාමාන වුවද, ඇය ගමන් කරන මාර්ගය අවශේශික ජන සංයුතියට පෙන්වීමට ඇයට  දැඩි වුවමනාවක් තිබූ බව පෙනෙන්නට විය. එය ඒ තරමට කුටිල වූ, දූර මාර්ගික වක්‍රයක් විය. අගේ නළල් කෙළවර මගේ පපුවේ ඒක කේන්ද්‍රික වෙද්දී, ඇයගේ සීතල අත්ලේ උණුසුම, මගේ අවසාන නහර කුටීරය දක්වා ගමන් කරන ස්පන්දනයේ හඬ, මම රහසේ මෙනෙහි කලෙමි.  එම මූසල පශ්චිම යාමය..මාගේ හදවත නම් වූ නිවෙස්නයට ඇය ඇතුළු වූ අංශු මාත්‍රික මොහොත...සඳහටම......

පළමු අනුඛණ්ඩය 

රූපය යනු ශුන්‍යය ය. 
ශුන්‍යය යනු රූපය ය. 
රළ යනු ජලයයි. 
ජලය යනු රළයි...
 රූපය ශුන්‍යත්වයෙන් වියුක්ත නොවීමම, ශුන්‍යත්වයෙන් රූපය වියුක්ත නොවීමට සර්ව සම්බන්ධ කල හැකි වේ. එම ධර්මතාවම වේදනා, සඥා, සංස්කාර, විඥාන යන ප්‍රපන්චවලටද එකසේ වලංගු වේ. මක්නිසාද යත්, මූලධර්ම තව එකක තුල අනෙක පවතින්නේය. එකක් පවතී. සියල්ල පවතී. 

මම 

ඇය මගේ ජීවයයි....මා හුස්ම ගන්නා ජීව වායුවේ සාරය උරා ගන්නේ ඇයද යන වග පවා මට නොපැහැදිලිය. සංවේගාත්මක වශීකෘත පරිච්චේදයක ආරම්භයම ඇය වී අවසානයද ඇයම වන්නීය. සුපුෂ්පික සන්තර්පණයට නතු කරගන්නා ඇය මට පවසන්නේ අනිත්‍යතාවයෙන් තොරව කිසිවක් සිදුනොවන බවයි. අනිත්‍යතාවයට මා බිය නැත. අනිතයතාවයේ ආශ්වාසය සපිරිවරා ගත් ඇය මා ළඟ සිටිද්දී කුමකටද බියවන්නේ අනිත්‍යයට????

දෙවන අනුඛණ්ඩය 

මෙය පවතී නම් දුහුවිලි කැටයක්ද පවතී.
 මෙය නො පවතී නම් මුළු විශ්වයම නො පවතී. 
ද්‍රව්‍යය සහ ශක්තිය එකක වනවා පමණක් නොව,  ද්‍රව්‍යය සහ අවකාශයද එකක්ම වේ. තවදුරටත් ද්‍රව්‍යය, ශක්තිය, ජීවය  සහ අවකාශය ද එකක්ම වේ. මක්නිසාද යත් එහි ජීවය විද්‍යාමාන ය.....

අභිවාදනය

නියුරෝසියාව මා වෙලාගෙන ඇත. එම මූසල පශ්චිම යාමයේදී ඇය මට මුණගැසුනේ කෙසේද යන වග කල්පනා කරන්නට ජීවයක් මට නැත. මාගේ අවධානය බිඳ දමන්නට තරම් පරිණත බවක් ඇය ලබා ගත්තේ කෙසේද යන වග කල්පනා කරන්නටවත් ශක්තියක්  මට නැත. අවකාශයද හීන වී ගොසිනි. එෆීඩියානු පුලකයන්, මගේ සිරුර විද ජීවය උරා බොන සෙයක් මට හැඟේ. මා හඳුනා ගන්නට කා හට හැකිවේද යන වග ප්‍රශ්නාර්ථයක් බවට පත් වීගෙන එයි...තව තත්පර කිහිපයයි....අභිවාදනයට සියල්ල සුදානම්....

තෙවන අනුඛණ්ඩය 

ශුන්‍යත්වය යනු අනිත්‍යයි. 
වෙනස් වන ස්වභාවයයි. 
මා ශුන්‍ය නොවුණිනම් මම මෙහි පැවැත්විය නොහැක්කේ වෙමි. 
ඔබ ශුන්‍ය නොවුණිනම් ඔබට මෙහි පැවැත්මක් නොමැත්තේය.
 ඔබ ජීවත් වන හෙයින් මම ජීවත් වෙමි...
 ශුන්‍යතාව යන්නෙහි සැබෑ අරුත වනාහී රූපයට වියුක්ත වූ පැවැත්මක් නොමැති බව යන වගයි....

සන්තර්පණය

මම වහලෙක්මි...මම වහලෙක් වන්නේ මගේ ජීවන රාමුව තුලයි...එයට කිසිම හික්මීමක් නැත්තේය...අවහිරයක් නැත්තේය.....ප්‍රතිබාදනයක් නැත්තේය...මම මගේ ජීවන වෘතීමය බල කිරීම් අනුග්‍රාහික කර ගනිමි....ඇය මගේ ජීවන රාමුව තුල ගර්හාවට ලක්වී අවසානයි...

ඇය සත්‍යයක් නොවේ
ඇයව තාත්වික මුර්තයක් බවට පත් කරන්නට මට නොහැක්කේය...

අවසානය 

අනිත්‍යය යන ධර්මතාවය ගැන දුක් විය යුතු නොවන්නේය...
අනිත්‍යතාවයෙන් තොරව කිසිවක් සිදු නොවන්නේය..
කිමද ශුන්‍යත්වය සියල්ලෙහි පදනම වේ.... 




Sunday, October 28, 2012

අසම්මත පෙමකට අප්පච්චිගෙන්....

පිච්ච මල් රටා හිස ලන
පිච්ච මල් රටා පළදින 
ඇය ඇවිත් උඹේ සෙවනැල්ලේ 
සෙවන ලබන විට 
ඒ උණුහුමේ
ජාති ජන්ම 
ලියා තියෙනවද?????

මගේ පුතේ නුඹට 
මම කොහොමට දොසක් කියන්නද?
නුඹ නුඹේ ලොවේ 
කිරුළු පැලැන්දට
වෙන බසක් දෙඩුවට
රතු තිලක තියු වත 
මම අමනාප වුනත්
ඇගෙ තරමට ආදරයක්
කොහෙන් ලබන්නද???

(උපුටා ගත්තකි )



Friday, September 28, 2012

නිදහස

මම
රස බලා ඇති
ජීවිතය
උත්තම ගණයේ
එකක්...
ඇරත්
නිදහස් කියන්නේ
මොකක්ද???
හිතලුවක්
දුම් රොදක්
මිරිඟුවක්
ප්‍රබන්ධයක්
කාලකන්ණි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ   
උණ සන්නිපාත
හීනයක්.......


Tuesday, August 28, 2012

කඳුළු බිඳු

නිමක් නැතිවූ
නමක් නැතිවූ
ඇගේ
කඳුළු බිඳු

දාරක පෙමින්
ඔද වැඩී ගිය
පිය විප්පයෝගයෙන්
විපරිත වී ගිය
ඇගේ 
කඳුළු බිඳු

තවත් 
ඇසකට
එක්කහු වන්නට
ඉඩකඩ නොලද
නියාවෙන්
වෙන්දේසියක
විකිණී ගිය 
ඇගේ
කඳුළු බිඳු......


ඈවරයි!!!!!!!!









Saturday, July 21, 2012

'ස'



සිහිල් සුළං රැළි දිගේ
දිව මතුරක්ව
සිහින සතක් මධ්‍යයේ
ප්‍රේම ගීයක්ව
නාගස් දළු ලවා
වසන්තය එළඹ කර
හිත මිතුරු සුළඟට අත වනා
වැහි වලාවෙන් වැසී ගිය
තනි තරුව.....
නුඹ ඔහොම 
ඔතැන
නැවතුණු නිසාවෙන්
මමත් 
මෙතන
මෙහෙම
නැවතුණෙමි..............


ප.ලි:
 නමුදු
හෙට දිනයේ
නැවතත් ඔබ නිසාවෙන්
මම
හිනැහෙමි........




ඡායාරූපය : තරිඳු ධනුශ්ක

Saturday, June 23, 2012

දැවෙන ප්‍රශ්ණය

නෙත් අඳ
පෘථග්ජන
පුද්ගල ප්‍රජාව
යාවත්කාලීන මනසින්
විචාරන වගනම්
තෘප්තිමත් ඌරන් රැලක්
වනවාද?
අතෘප්තිමත් සොක්‍රටීස්ලා බවට
පත්වනවාද?


තර සිරුරු
සංතර්පනය කරන
තෘප්තිමත් ඌරන්
ප්‍රහීන වූ
සමාජ සංතුලිතයක
අතෘප්තිමත් සොක්‍රටීස්ලා
ඕනෑකර තිබේ!!!!!! 



Monday, June 11, 2012

චංචලා සහ නිදිකුම්බා නැටි

පාන්දර 4.30ට වැඩට ගිහින් ගෙදරට ගොඩ බැස්සේ දැනුයි...ෂෙහ්...මහන්සියි..නිදිමතයි...පට්ටෙටම.....
නිදිමත වැඩිවුනත් නිදා ගන්න කෝ පිනක්??? වැඩ වැඩ වැඩ.....
ලෝකය කැරකේ.....අපි දුවනවා ලෝකේ වටේ එක හැල්මේ....
මාර මහන්සියි....
දැන් මාස ගාණක් පාන්දර රස්සාව කරන නිසා නිදිමත ඉවසන්න දැන් පුරුදු වෙලා..
ඩාවින්ගේ අනුවර්තනය වීමේ න්‍යාය...
ඩාවින් බීගල් නැවේ නැගලා ලෝකේ වටේ රවුම් ගහලා පරිණාමය හොයාගත්තා..
අපි ලෝකේ වටේ දුවනවා දුවනවා
ඉවරයක් නෑ
ඒත් මොනවද අපි හොයාගත්තේ????
අපේ සෙට් එකේ පොරවල් කියනවා වගේ
සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්....
කා බී සැනසෙන අපිට
තව කොච්චර බිව්වත්,බීලා වැමෑරුවත්
මේකට උත්තරයක් හොයගන්න
පුලුවන් වෙයිද???
බලමු...ට්‍රයි එකක් දෙමු ගට අරගෙන
හැබැයි පස්සෙ වෙලාවක.....


උදේ පාන්දර මම කරන රස්සාව දන්නෝ දනිති
රූප පෙට්ටියේ
අඟල් 15 සිට 42 දක්වා වූ බැමි දාපු සීමාවක
විනාඩි කට්ට 45පාරක් රවුම ගහනකන්
පත්තර කියවීම.... 
කාගෙත් කතාවට භාජනය වෙච්චි
කිරිකැට් මැච් පෙන්නන
නමගිය ලොකු අතුවලින් පරිපූර්ණ වෙච්චි
අකුරු තුනේ නාලිකාවක
පොඩි පහේ නිවේදක ජොබ් කට්ටක්
කරනවා මම අහිංසක විදියට....
ක්‍රීඩා පිටුවට විතරක් මුල් තැන දුන්නත්
පත්තරේ අනිත් කෑලි ටික දිහා බලන්නත්
අමතක කරන්නේ නෑ...
අද උදෙත් ගත්තා පත්තරයක් අතට
ලංකාවේ නමගිය පත්තරේක අද ඉඳන් පටන් ගන්න හොඳ ටැබ්ලොයිඩ් කෑල්ලකට
ඇහැ ගියා ඉබේටම...
ලාංකීය තරුණ පරපුරේ කට් වෙච්ච,ජොල් වෙච්ච ඇඟවල්වලට හොඳ ඔළුවක් දෙන්න
සෙල්සියස් 37 උෂ්ණත්වය, 38 නොවී,37ම තියාගන්න
අද සිට ආරම්භ වන නවතම ආදර ක්‍රියාන්විතය
අකුරු සහ ග්‍රැෆික් සම්පින්ඩණයෙන්
හරි අපූරුවට එකට එකතු කරලා තිබුණා....
පට්ට.....


යං ජෙනරේෂන් එකට ආමන්ත්‍රණය කරන මේ ටැබ් එකේ
නියම කෑල්ලක් තිබුණා
ලංකාවේ පරසිදු නිලි බට්ටියෙකුට
දීලා තිබුණා හොඳ ප්‍රශ්ණ පත්තරයක්
එයැයි ඒකට දීලා තිබ්බා නියම උත්තර ටිකක්
මරු ආ....
Solid.....
මේ නිලි බට්ටි කවුරුත් නෙමෙයි
උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
දේශපාලනේ කතා කොරන්න ගිහින් හොට බිම ඇනගෙන
පක්සෙත් මාරු කරපු
චංචලා....
ඕං අහපු ප්‍රශ්ණ වලට දීපු උත්තර



  • හෙරළි කියන්නෙ මොනවටද? නිදිකුම්බා නැටි....
  • Troy සිනමා පටියේ ප්‍රධාන නළුවා කවුද? ක්‍රිස් ගේල්
  • අම්බරුවන් කියන්නේ කාටද? මදුරුවන්ට
  • මාතර අච්චි නමින් ප්‍රසිද්ධියට පත්වුණේ? රංචාගොඩ ළමයාගේ ආච්චි
  • රජරට සේවය පිහිටා ඇත්තේ? මහනුවර



පෙර වාසනාවකට අහපු අනිත් ප්‍රශ්ණවලට දීපු උත්තර යන්නතම් හරි ගිහින්...
3 වසරේ ළමයෙක්ටත් උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්ණවලට 
පාර්ලිමේන්තු මන්ත්‍රිනී
ජනප්‍රිය නිලි ලේබලය අලවාගත්

උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
ඔන්න දීපු උත්තර...
අනේ පබා....
දේශපාලනේ කොරන්න කලියෙන්
හෙරළි සහ අම්බරුවන් කියන්නෙ මොනවද කියලා දැනගත්තනම්
හොඳයි නේද
පබා නෝනේ........
රඟපාන්න ඉස්සෙල්ලා
පරණ ෆිල්ම් ටිකක් බලලා
රජරට සේවය පොඩ්ඩක් ඇහුවනම්
හොඳයි නේද
මන්ත්‍රීතුමියනි.......
තවත් කියන්නට දෙයක් නම් නෑ...
ඒත් මේ වගේ
තරුණ හිත්වලට ඇමන්ත්‍රණය කරන්න හදන
 හොඳ වැදගත් දේකට
3 වසරේ කොල්ලො කුරුට්ටන්ග් මානසිකත්වයක්වත් නැති
මෙවැනි වූ 
බොරු සෙප්පඩ නිලි බට්ටියන්ව
ඈඳා නොගන්නා ලෙස 
ආදරයෙන් ඉල්ලනවා
අපේ ආදරණීය පත්තර කලාවේදී සහෝදරයන්ගෙන්.....


අලුත් ටැබ් එකට ආසිරි පතන ගමන් 
කැපෙන්නම්...
සෙල්සියස් 37ට ටෙම්පරේචරේ තියාගෙන
Six Pack ඇඟවල්වලට හොඳ ඔළුවක් හදාගන්න....
ජය වේවා......


ප.ලි :
 පත්තරේටත් වැරදිලා...
ශාරුක් ඛාන්ට අයිති ටීම් එක මුම්බයි ඉන්දියන්ස් නෙමෙයි
කොල්කටා නයිට් රයිඩර්ස්....
පත්තරේටත් හරි උත්තරේ මිස් වෙච්චි එකේ
පබා ගැන කවර කතාද?















  



Tuesday, June 5, 2012

ජුබිලිය


අවිඥාවාදී
උගතුන්
නටයි උඩ පනිමින්
මහ රැජිණ
වැජඹේවා
කෑගසයි උන්
නිරුවත්ව
ප්‍රබුද්ධ ලීලාවෙන්


බැල්කනියට වී
ලොව දකින
එළිසැබෙත්
ආචාර සමාචාර කරයි
දත් විරිත්තා
සිනාසී
මහේශාක්‍ය ලීලාවෙන්


මහ රැජිණ ලියන වගනම්
පිස්සු
හොඳටෝම පිස්සු
එළිසැබෙත්
සිනාසෙයි
කොක් හඬ තලා
රාජකීය ලීලාවෙන්


එඩිංබරෝ ආධිපාද තැන ලියන වගනම්
ලෙඩ ඇඳේ 
මම තනියම
ගෑණි
අරහෙ ජුබිලි පාටි
පිලිප් මුමුණයි
වේදනාබර ලීලාවෙන්





Tuesday, May 8, 2012

නර්ථන ලීලා.....

ආලවන්ත වීදිය
කෙළවරක
පෙනෙන
නොපෙනෙන
 ඇසිදිසි මානයක
ඔද වැඩී
තෙදබලව
හති ‍වැටී
හූල්ලන
මට
මහ හයියෙන්
හිනාවෙන
කුස පබා........



Monday, March 5, 2012

නූතන පෙම්වතියකගේ විලාපය

ඇය
කිසිත් නොදන්නී
සමාජ සම්මතයෙන්
පිට පැන
ආදරය කරන්නී
මානයේ 
වැහි වලාවෙන්
ශුද්ධ වූ ආදරය
පෙරා වෙන්කරන්නී......

වේදනාවේ
කටු ඔටුනු
හිසදරා සිටින්නී
සත්‍යයේ
පාටගෙන
ජීවිතය
වියන්නී.....

නිස්සාර
ලෝකයේ
ආදරය
යදින්නී
නමුදු
නිස්සාර
ආදරයේ
තරම විනිවිද දැක
විරහ කවි
ලියන්නී....


Saturday, February 25, 2012

විරහව

හෝමෝ සේපියන්ස්
මූලික නාමය ලද්දාවූ
මනුෂ්‍ය වර්ගයාගේ
වාසගම
"වෙනස" වූ නියාවෙන්
ජීවන ආකෘතික 
ශිෂ්ටාචාරයකට
පිඹුරුපත් සැකසූ
හිස් මොළ
ඒකායන අරමුණක
නතර වුණු
අපූරුව දැක
සුන් වී ගිය
හදවත්......



Saturday, January 7, 2012

ආදරය හා මරණය වැළඳගත් විට....

ඇය
ඔහුගේ 
හිරු කිරණ විය
වියැකී ගිය
ආන්තිකවාදී
සිහින හා පැතුමන්
වළලා දැමූ
සොහොන් ගැබ
එළිය කළ....

ඔහු
ඇයගේ
සඳ කිරණ විය
මලානික වූ
දුහුල්
චන්ද්‍ර කාන්තියෙන්
ඇයව 
සිත්තම් කළ....

ආදරය
මරණය වැළඳගත්
සීමාන්තික මොහොතේ
බිඳී ගිය හදවත්
හඬා වැළපිණි
ඇය 
හා
ඔහු
මං මුලා කොට....

ෆින්ලන්ත ගොතික් ශෛලිගත සංගීතවේදී  Villie Valo ගේ කවි හදවත සංවේදී කළ මොහොතේ ලියා තැබූ වග නම්....


Saturday, November 26, 2011

වත්කම් ප්‍රකාශය

චෝදනා
මඩ
කැපිලි
කෙටිලි
දහඩිය
මහන්සිය
මධ්‍යයේ
පඩිය
අසරණ වී
කම්පිත වී
විලම්බීතව
අකැප සේයාවෙන්
මග බලා සිටී.........


පසුවට ලියමි
නිරුත්තර වී
නිහඬ වී
පඩි වැඩි වනතෙක්
මග බලා සිටිමි......



Sunday, September 25, 2011

කාල රාමුව සංතර්පණය කිරීම

පැය
විනාඩි
තත්පර
රාමු
00 : 00 : 00 : 00
.
.
.
.
.
.
.
ජීවිතයේ
අනිත්‍ය කාල රාමුව
නැවතී
නොසැලී
මග බලා
වැළපී
සිනාසී
දුක් විඳියි
00 : 00 : 00 : 00 ට
සම්ප්‍රාප්ත විය නොහැකි වී......

Monday, August 22, 2011

"ස" ප්‍රසංගය, වික්ටර් රත්නායක සහ ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතය

මුළු යොවුන් රඟහල් ශාලාවම මඳ අන්ධකාරයේ ගිලී තිබුණි.සුළං කවුළු වලින් ශාලාව තුළට මළානික හිරුගේ අවසන් රශ්මි කදම්බ කිහිපය වැටී තිබුණත්, එය ප්‍රසංගයට ආවැඩුවා මිස බාධකයක් වූයේ නැත.පැමිණ සිටි රසික ජන කැල භාවනානුයෝගීව,සප්ත ස්වර අසිරියක නොකිලිටි රස මදිරාව පෙරා වෙන්කරගන්නට උත්සුක වූහ.සිත සුවපත් කරවන තාල තරංග අතරේ,පරිණත මියුරු කටහඬකින් ඉතාමත් අලංකෘත වූ පෙම් ගීයක් මිමිණෙන්නට විය.මම ඒ දෙසට මගේ සවන් යොමු කළෙමි.


ඔබෙ දෙතොල් පෙති දිගේ
පිපුණු හසරැල් විලේ
හඳ එළිය ගලා යයි
රැළි ලමින් සැලි සැලි
එවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ......

දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවාසීන් ඉමහත් ආදරයෙන් වැළඳගත් සුභාවිත ගීත කලාව,රසික සිත් සුවපත් කළේය. අරුත්බර වූ සංගීතයෙන් ඔප මට්ටම් වී,සරල ගී පද වැල්වලින් ලාංකීය ජන හදවත් නිවී සැනසූ මේ ගීත කලාව, ශ්‍රී ලංකාව තුළ මුල් බැසගත්තේ එවකට ලාංකීය ගීත කලාව ආක්‍රමණය කර තිබූ හින්දි ගී පරිවර්තන පුස්සක් කරමිනි.නමුත් අද වනවිට සුභාවිත ගී කලාව ඇත්තේ මරණ මංචකයේය.සුව කළ නොහැකි රෝගයකින් පීඩා විඳින,සම්පූර්ණයෙන් සුව කරගැනීමට ඔසුවක් නොමැතිව, අනේක දුක් විඳිනා රෝගියෙකු මෙන් සුභාවිත ගී කලාව පණ අදිමින් සිටී.අද පවතිනෙනේ අමුතුම ගීත කලාවකි.හිසේ ජෙල් තලියක් තවරා,ඉතිරි ජෙල් තලිය කටට දමාගෙන කොරෙක්ස්-D වලින් උගුර සෝදා,කලිසම බාච්චුවට ඇඳගෙන,'කොත්තු මී එකක් කමුද කෙල්ලේ?' කියා ඇසූ විට ඔහු ගායකයෙකු වෙයි.නැතහොත් යකුන් බඳිනා මන්තරයක් කියවන්නාක් මෙන් එක දිගට වචන ටිකක් කියාගෙන ගිය එකා,Music Industry එකේ Hit එකක් වන්නේ එක රැයකිනි.අද රටේ සංගීත කෙරුවාව එසේය.

තත්වය එසේ තිබියදී,පසුගිය සෙනසුරාදා(20) දින "ස" ප්‍රසංගයක් බලන්නට ගියේ හිතේ තිබුණු විභාග ආතතිය සමනය කරගන්නටත්,වියැකී යන සුභාවිත සංගීතයේ නියමාර්ථ රසාලිංගනය අත් විඳීමටත්ය.මාගේ ගජයන් වන දිලින,අදීශ සහ සසිරි සමඟ මහරගම යොවුන් රඟහලට රිංගා ගත් මම, අති මහත් වූ සුභාවිත සංගීතලෝලී ජනකාය මධ්‍යයේ දැහැනකට සම වැදුනාක් මෙන්,වර්තමාන සමාජ ප්‍රස්තූතයේ නෑසෙන ගී රස විඳගෙන කල්පනා ලොවකට පිවිසුණෙමි.


හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළැඹිලා
තරු කඩා වැටෙන විට 
අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ.....


අදීශයා හිමින් සීරුවේ ගීතය මුමුණ මුමුණ සිටියේය.


වික්ටර් රත්නායකයන් දැන් වියපත් සංගීතවේදියෙකි.හෙතෙම ශ්‍රී ලාංකීය සංගීත කලාවට සිදු කර ඇති මෙහෙය ගැන අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි.ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ සුමිහිරි සප්ත ස්වරය ලෙස අදහන එතුමා,තමන්ගේම ආරකින් යුත් සරල සුගම සංගීතයෙන් දශක 3ක් පුරාවට රසික සිත් සැනසුවේය.මේ මහා ගාන්ධර්වයාගේ ගීත,තවමත් කොතරම් ජනප්‍රියදැයි සිතා ගැනීමට කරුණු දෙකක් පමණක් සෑහෙන බව මට හැගී ගියේ නිතැතිනි.එකක් නම් කොත්තු මී කා,කොරෙක්ස් D වලින් කට හෝදන "හිපි" සංගීතකාරයෝ(ටකරංකාරයෝ කියුවොත් වඩා නිවැරදිය) රජ කරන වර්තමාන සමාජ සංස්කෘතිය තුළ,මෙවැනි අර්ථාන්විත වූ ප්‍රසංගයක් නැරඹීමට පැමිණි අතිමහත් ජනකායයි.අනෙක් කාරණය නම් මෙය වික්ටර් රත්නායකයන්ගේ 1435 වැනි දර්ශන වාරය වීමයි.කොතරම් වියපත් වූවත්,ඔහුගේ ගීත ගායනය එදා මෙන්ම ඉතාමත් මනහර වූ,ජවසම්පන්න එකක් වීම ගැන කිසිම අතිශයෝක්තියකින් යුතුව කතා කළ හැක. වර්තමානයේ සංගීතකාරයන් යැයි කියාගන්නා මහ ලොකු "පොරවල්වලට" මෙවැනි දෙයක් කරගන්නට පුළුවන් වේදැයි අල්ප මාත්‍ර හැඟීමකුදු අපට නැත.


සභාවෙන් නැඟුනු දැවැන්ත අත් පොළසන් නද නිමාවන ඇසිල්ලෙන් තවත් ගීතයකට තාල තරංග මුසුවන්නට විය. වික්ටර් රත්නායකයන්ගේ අර්ථපූර්ණ හඬ සැන්දෑ අහසට මුහු වන්නට විය.


තනි තරුවේ....
තනි තරුවේ....
ඔබත් ඔහොම ඔතන ඉන්න....
මමත් මෙහෙම මෙතන ඉන්නවා.....

"ඔන්න මචං මගෙ ආසම සින්දුව...පට්ටයි නේ...." දිලිනයා හරිබරි ගැසුනේය. එය මගෙත් ප්‍රියතමයක් වූ නිසා,ඒ දෙසට සවන් යොමා නැවතත් දැහැනකට සම වැදුනෙමි.



Monday, August 15, 2011

කුවේණී

අපහාස
උපහාස
විඳ දරාගත්තා
බැති සිතින්
කුවේණී
දරු ගැබත්
කුස දරාගෙන....

දුක
වේදනාව
විඳින්නට බැරුව
නොපෙනෙන මානයක ඉඳ
ඉකි බින්දා
කුවේණී
දරු ගැබත්
තුරුළු කරගෙන....


Tuesday, August 9, 2011

සිපිරි ගෙය

කොහෙදෝ සිට පැමිණි
නිම නොවුනු ගිම්හානය
කතා කළා මට
හරිම ආදරෙන්......


විශ්ලේෂණාත්මක දත්ත ගොන්නේ
අනිත්‍ය රාමුවක කැරකැවෙන
පරිගණකගත භෞතීස්මයට
තිත තියපන්......


ජීවිතේ විඳින්න
අරුත්බර වෙන්න
ඉලෙක්ට්‍රෝනිකවාදී මායාවට
පයින් ගහපන්......


ඒත්
පරක්කු වැඩියි
ඩිජිටල් අවකාශයේ
යතුරු රහිත යදම්වලට
මම
සම්පූර්ණයෙන්ම සිරවෙලා අවසන්......


සිපිරි ගෙය
අද හරිම මූසලයි...................


Thursday, July 21, 2011

Transformers

ගිනි පුපුරුවලට පදම් වූ
යකඩ කැබලි දසත විසිවෙද්දී
IronHideගේ නිරුද්ධ වූ සිරුර දිහා
Bumble Bee බලා සිටියා
නිරුත්තර වී......
කනට නෑසෙනතරම් වූ
සෝ සුසම් මැද
Optimus Prime කෑගැසුවා
ලිබර්ටිය දෙදරවමින්
මගේ දෙසවනට මුවා වී.....


(full කට්ටක් කාගෙන,ටිකට් book කරගෙන ගිහින් බලපු Transformers 3 ගැන හිතට ආපු දේ,මෙසේ ලියා තැබූ වගයි.)

Tuesday, July 12, 2011

රෝමියෝ.....

"මචං,මම ඒ කෙල්ලට ආදරේ කළේ හරියට අයියා කෙනෙක් වගේ.ඒකට ලොකුම හේතුව උනේ ඒකි මට වඩා අවුරුදු 4කට බාල වෙච්ච නිසා.මාස 6ක් අපි හොඳට ලව් කර කර හිටියා බන්..."

රෝමියෝ, මා ඉදිරියේ තමන්ගේ ප්‍රේම ව්‍රෘතාන්තය දිග හැරීමට පටන් ගත්තේය.මා හට එය පවසන්නට හේතු වූ කාරණය මට හරියටම මතක නැත.ඒ කාරණාව කුමක් වුවත්,පැහැපත් පෙනුමක් සහිත,කෙට්ටු සිරුරකින් හෙබි රෝමියෝගේ අතීතාවර්ජනය අසා සිටින්නට මා පෙලඹවූයේ,කතන්දර ඇසීමට කුඩාකල සිටම උරුම වූ මාගේ අසීමාන්තික ඇබ්බැහිවීම බව මම දනිමි.

කොලඹින් ගව් ගණනක් ඈත,ඉතාමත් සුන්දර නගරයක ජීවත්වන අපේ රෝමියෝට,තමන්ගේ හද පත්ලේ සැඟවී තිබූ යෞවනාලය උද්දීපනය කරන්නට සමත්වූ  ජූලියට්ව මුණ ගැසුනේ තමන්ගේ මිත්‍රයෙකුගේ අනුදැනීමකිනි.ඒ සොඳුරු හමුවීම සිදුවූ දා පටන්,රෝමියෝ-ජුලියට් ආදර අන්දරය ලියලා,දළුලා වැඩුණේ,මොහොතින් මොහොත වෙන්ව යන සෑම තත්පරයකදීම ඔවුන් දෙදනාට පරම පිවිතුරු ආදරයෙන් වෙළෙන්නට ඉඩ දෙමිනි.රෝමියෝ උසස් අධ්‍යාපනය හැදෑරුවේ අගනුවර සුප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයකය.අධ්‍යාපනය ගැන තබා තිබූ සියළු ප්‍රාර්ථනා,ප්‍රථම ප්‍රේමය හමුවේ වියැකී බොඳවී යද්දී,නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව චණ්ඩ හිරු රැස්වලට ආවරණයක් කරගනිමින්,රුපියල් 3කට මිලට ගත් Center Freshය හකු පාඩා අතර උඩ පහළ යවමින්,ජූලියට් පන්ති ඇරී එනතෙක් පැය ගණන් මග බලාසිටියේ සදාදරණීය පෙම්වතෙකු ලෙසිනි.

"උඹ දන්නවනෙ බං,මම මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයිනෙ. ඒ වුනාට මම ගෙදරින් මාර ගේමක් දීලා රුපියල් 500ක් හොයාගන්නවා කෙල්ල නිසා.පැය ගණන් චාටර් කාගෙන මම බලාගෙන ඉන්නවා එයා එනකන්.කෙල්ල මග එනවා දැක්කම,කාපු චාටර් මොනවද කියලා හිතෙනවා බං.ඒකි දැක්කම හිතට එන කික් එක මාර සීරියස් බන්.."

හිතට නැගුණු "සීරියස් කික්" එක මතක් වුන නිසාදෝ,රෝමියෝ තත්පර කීපයක් අහිංසක ලෙස සිනාසුනේය.සුසුදු වත,සිහින් ශරීරය, මනබඳින ඇස් දෙක, ඇස් දෙකෙන් තමන් වෙත එල්ල කරන අපූරු හිනාව දකින හැම මොහොතකම,තමන් තුළ සැඟව තිබූ ආදරය පිම්බී එන්නාක් මෙන් තමන්ට දැනුනු බව රෝමියෝ මට පවසා සිටියේය

"පන්ති ඇරිලා ආවට පස්සෙ මම එයාව පේස්ට්‍රි ශොප් එකට අරගෙන ගිහිල්ලා කන්න අරන් දෙනවා.ගොඩක් වෙලා අපි කතා කරනවා.ඊට පස්සේ නංගිව ගෙදර ගාවට බස්සවලා තමා මම ගෙදර එන්නේ.මම ගෙදර එන්නෙ අන්ත අසරණ හිඟන්නෙක් වගේ බං.හැමදාම වගේ පර්ස් එකේ තියෙන්නේ රුපියල් 10ක් හරි 20ක් හරි..".

  "පස්සෙ පස්සෙ ඒකි මාව බාල්දු කරන්න පටන් ගත්තා බං.මුලදි තිබ්බ ආදරෙන් බිංදුවක්වත් මට ඒකි පෙන්නුවෙ නෑ.ඒත් මම ඉවසුවා බං,මම හිතුවා මගේ අතින් මොනවහරි අඩුපාඩුවක් වෙන්න ඇති කියලා.ඒත් මම දන්න හැටියට එහෙම දෙයක් වුනේ නෑ.දවසක් මම දාඩිය පෙරාගෙන නංගි එනකන් මගබලාගෙන හිටියා.ඒකි මාව දැකලා මොකක්ද කියුවෙ දන්නවද? 'අපෝ ඔයා ගාව හරි දාඩිය ගඳයිනෙ,හොඳ perfume එකක් ගහගෙන එන්නකො' කියලා."

රෝමියෝ නැවතත් සිනාසුනේය.මුකුත් නොකර නිකන් සිටියේ මන්දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.බොළඳ ආදරය ඉදිරියේ පුරුෂාධිපත්‍යය හීන වී ගිය අයුරු ඔහු මතක් කළේ නැවතත් සිනාසෙමිනි."මට කටට අවා බං හොඳ එකක් කියන්න, ඒත් පොඩි කෙල්ලෙක් නිසා ඉවසගෙන හිටියා.." රෝමියෝ පාපොච‍ඡාරණය කළේය.මාසයක් ගතවූ තැන, ඔවුන්ගේ කුළුඳුල් ආදරය දෙදරා යන ලකුණු පහල වන්නට ගත් බව රෝමියෝ තෙපළේය.ජූලියට් නිතරම වාගේ රෝමියෝගේ විරැකියාව,සමාජ තත්වය,මුදල් ගැන ප්‍රශ්න කරන්නට පටන් ගත්තාය."මම ඇහුවා බං එයාගෙන් 'ඔයා ආදරේ කළේ මටද?මගෙ සල්ලිවලටද?' කියලා.එතකොට එයා කියුවේ 'මොනව කරන්නත් සල්ලි ඕන,රස්සාවක් ඕන. ඔයාට ඒ දෙකම නෑනෙ අයියෙ...' ".

ඉවසාගන්නට නොහැකි තැන,තමන්ගේ කුළුඳුල් ආදරයට තිත තබන්නට රෝමියෝ කල්පනා කළේය.හද පාරගෙන නගින රුදුරු වේදනාවන්,කඳුලු ගංගාවන් ලෙස දෝරේ අරින්නට ඉඩ දී ඔහු ජීවිතයේ අසාර බව මෙනෙහි කරන්නට විය."මගෙ මුළු ජීවිතේ,මගෙ අධ්‍යාපනේ,ඔක්කොම දේවල් විනාස කරගෙන මම ඒකිට ආදරේ කලා බං,ඒ උනාට අන්තිමට ඒක විහිළුවක් උනා.පස්සේ ඒකි හෙනට සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාළු උනා කියලා මට කොල්ලෙක් කියුවා.මිනිස්සුන්ට ශාප කරන හැටි මම ඉගෙන ගෙන නෑනෙ බං,ඉගෙන ගෙන තිබුනනම්...එත් මට ඒකිට සාප කරන්න බැරිවෙයි බං...".

ඔහු තම කථාව එසේ කියාගෙන ගියේය.ප්‍රේම මායා දැලෙහි පැටලී හීනයක් ලෙස ගෙවෙන ජීවිතය නැමැති යථාර්ථයේ,ආදරය නැමැති සංකල්පය එක මොහොතින් බිඳී යන්නේ අළුයම නැගෙන තුෂාරයක් ලෙස බව මම ඔහුට මතක් කර දුන්නෙමි.එවිට රෝමියෝ නැවතත් සිනාසුනේය.ඔහුගේ ප්‍රේම ව්‍රෘතාන්තය තවමත් ඉවර නැතැයි ඔහු කී විට මම පුදුමයට පත්විය.

"මාස 2ක් විතර යන්න ඇති.මම හැමදෙයක්ම අමතක කරල දාලා හිටියෙ මචං.ඒත් එක දවසක් හදිසියේම නංගි කතා කළා.එයා අඬ අඬ මට ලොකු විස්තරයක් කියුව බං.එයාට ඕන උනේ සල්ලි විතරලු.ඇත්ත ආදරේ මොකක්ද කියලා එයාට තේරුනේ නෑලු.මම නැතුව ජීවත් වෙන්න බෑ කියලා ඒකි අඬ අඬ කියුවා."

"නංගිගෙ කටහඬ ඇහුන ගමන් මට මොනවා වුනාද කියලා මම දන්නෙ නෑ බං.කාගෙන,දම්වැල් දාලා හිරකරගෙන හිටපු මගේ පුරුෂ ධෛර්යයට පණ නැති වුනා මචං.ආදරේ ඉස්සරහා මම ආයිමත් බෙලහීනයෙක් වුනා.මම ආපහු නංගිව බාරගත්තා බං... "

මේ පුදුමාකාර පුද්ගලයා දිහා තත්පර ගානක්  මා බලා සිටින්නට ඇත.මොහුගේ ක්‍රියා කලාපය කුමන ප්‍රස්තූතයක් යටතේ වර්ග කරන්නෙම්දැයි මම කල්පනා කළෙමි.රෝමියෝ මගේ සිතැඟි තේරුම් ගන්නට ඇත."උඹ හිතනවා ඇති මම මෝඩ තකතීරුවෙක් කියලා.ඒත් කථාවක් තියෙනවනෙ බං ආදරයේදි හැමෝම අන්ධයි කියලා.මමත් අන්ධ වුනා බං.මම දෙපාරක් අන්ධ වුනා මචං.තුන්වෙනිපාරත් අන්ධ වෙයිද කියලා කවුද දන්නේ? "

"නංගි ආපහු පන්ති යනවා බං.මම වෙනදා වගේම ඔරලෝසු කණුව යටට වෙලා,Center fresh එකක් කකා,මග බලාගෙන ඉන්නවා එයා එනකන්..." අහිංසක සිනාවකින් මුව සරසාගෙන රෝමියෝ කතාව අවසන් කළේය.

මගෙන් සමුගෙන ඉවතට ඇදී යන මේ අපූරු චරිතය ගැන මම නැවතවතාවක් කල්පනා කළෙමි.මම ඔහු මෝඩ තකතීරුවෙක් කියා කිසිවිටෙකත් නොසිතමි.නමුත් ඔහුගේ ක්‍රියාව කෙසේ විස්තර කරන්නදැයි මට තවමත් අංශු මාත්‍රයක අදහසක් නැත.තුෂර බිංඳුවක් ලෙස ආදරය බිඳී ගිය විටදී,බිඳී ගිය තුෂාරය,බිංඳුවෙන් බිංඳුව නැවත එක්කරන්නට හැක්කේ මෙවැනි රෝමියෝ කෙනෙකුට පමණක් බව  මට හැඟී ගියේ නිමේෂයකිනි.